Need Tv

Need Tv

Share

And many more.. Need to brings all you

11/02/2026

සබන් කැටේ කතන්දරේ........

ලෝකෙ හැමතැනම, හැමදෙනාම පාවිච්චි කරන සබන් මුලින්ම හොයා ගත්තෙ කොහොමද කියලා ඔබ දන්නවද? සබන් නැතුව ජීවත් වෙන්න බැරි තරමට මේ නිශ්පාදනය මිනිස්සු අතර ජනප්‍රිය වුණේ කොහොමද කියලා බලන්නයි අද අපේ සූදානම.

මුල්ම හඳුන්වා දීම
සබන් වල ඉතිහාසය අවුරුදු 6000ක් විතර අතීතයට යනවා. නමුත් කවුරුවත්ම දන්නෙ නැහැ ඇත්තටම කොයි විදියටද සබන් කියන මේ සේදුම් නිශ්පාදනය හොයා ගත්තෙ කියලා. ඒ වුණත් මේ වටා ගෙතුණු විවිධාකාර කතන්දර නම් බොහොමයි.
පුරාවිද්‍යා කැණීම් වලින් ආදි බැබිලෝනියානුවන් සබන් නිශ්පාදනය කළ බවට සාක්ෂි ලැබෙන අතර ඊජිප්තු වාසීන් සබන් නිශ්පාදනය කරලා තියෙන්නෙ ශාක සහ සත්ත්ව තෙල්, ඇල්කලයින ලුණු (ක්ෂාර ලුණු) සමඟ මිශ්‍ර කිරීමෙනුයි.
රෝමානුවන්ට අනුව සබන් වලට “soap” යන නම ලැබෙන්නෙ රෝමයේ පිහිටි “සපෝ කන්ද” නිසයි. සපෝ කන්දෙදි සතුන් බිලි දීමේ යාගයන් පවත්වලා තියෙනවා. වර්ෂාවත් එක්ක මේ සත්ත්ව මේදය ක්ෂාර ලුණු සහිත අළු සමඟ මිශ්‍ර වෙලා ටයිබර් නදියට ගලාගෙන ඇවිත් තියෙනවා. ඒ අවට මිනිස්සු රෙදි සේදීමට ඇවිත් තියෙන්නෙ මේ ටයිබර් නදියට. වෙනදාට වඩා හොඳින් රෙදි වල කුණු ඉවත් වෙන්නෙ කොහොමද කියලා හොයා බැලුවම තමයි මේ විස්තරය ඔවුන් දැනගෙන තියෙන්නෙ.

පසුකාලීනව යුරෝපීයයන් සබන් නිශ්පාදනයේදී ඔලිව් තෙල් භාවිතය ආරම්භ කළ අතර ඔවුන් එය “කැස්ටියල්” ලෙස නම් කළා. 14 වන සියවසේදී ඔලිව් තෙල් මුහුදු ජලය සමඟ මිශ්‍ර කිරීමෙන් ප්‍රංශ ජාතිකයන් විසින් තවත් සබන් විශේෂයක් හඳුන්වා දෙනු ලැබුවා.

18 වන සියවසේදිත් සබන් භාවිතා කළ පිරිසේ ලොකු වැඩි වීමක් දක්නට ලැබෙන්නෙ නැහැ. සබන් වල තිබූ අප්‍රසන්න ගන්ධය එයට එක් හේතුවක් වන්නට ඇති. නමුත් කාර්මික විප්ලවයෙන් පසුව නව සබන් නිශ්පාදන ක්‍රම හඳුන්වා දීමත්, ඒවාට සුවඳ කැවීමේ ආකාර සොයා ගැනීමත් නිසා වෙනදාට වඩා සබන් භාවිතයේ ඉහළ යාමක් දකින්නට ලැබුණා. ඉන්පස්සෙ ඇමරිකානුවොත් සබන් නිශ්පාදනය ආරම්භ කළා. වෙළඳපොළ නිශ්පාදනයක් විදියට සබන් කරලියට ආවේ 19 වැනි සියවසේදි යි.

සබන් නිශ්පාදනය සරලයි කියලා හිතුණාට මහා පරිමාණයෙන් සබන් නිශ්පාදනය පියවර ගණනාවක් සහිත සංකීර්ණ ක්‍රියාවලියක්. මුලින්ම මේදය සහ පොටෑෂ් ද්‍රාවණය නියමිත ඝණත්වය තෙක් උණු කළ යුතුයි. මෙහිදී සිදුවන ප්‍රතික්‍රයාවෙන් සබන් සහ ග්ලිසරින් ප්‍රතිඵල ලෙස ලැබෙනවා. සබන් සහ ග්ලිසරින් වෙන් කිරීමට ලවණ සමඟ ප්‍රතික්‍රියා කරවීම මීළඟ පියවරයි.
මෙහිදි ග්ලිසරින් අඩියේ තැන්පත් වන අතර ද්‍රව සබන් ඒ මත පාවෙනවා. ඉන්පසු ග්ලිසරින් නිස්සාරණය කරන අතර අනවශ්‍ය මේද ඉවත් කර සාන්ද්‍ර කෝස්ටික් ද්‍රාවණයක් නැවතත් ද්‍රව සබන් සහිත බඳුනට එකතු කරනවා. නැවතත් මෙම ද්‍රාවණය නියමිත තත්ත්ව යටතේ උණු කිරීමෙන් පස්සෙ ජලය සහ සුවඳ කැවීමට යොදා ගැනෙන රසායනික ද්‍රවය සමඟ මිශ්‍රකර උණු කරනවා.
මේ මිශ්‍රණයේ ඉහළම ස්ථරය 70%ක් සබන් සහ 30%ක් ජලය සහිත පිරිසිදු සබන් ලෙස හඳුන්වනවා. පහළ ස්ථරයේ විශාල වශයෙන් අපිරිසිදු ද්‍රව්‍ය අඩංගු වෙනවා. පිරිසිදු සබන් වෙන් කරගෙන ශීත කිරීමෙන් පස්සෙ කැමති හැඩයකට කපා ගත හැකියි.

මුලදී රෙදි සෝදා ගැනීමට භාවිතා කළ සබන් පසු කාලීනව ශරීරය පිරිසිදු කිරීමටත් යොදා ගත්තා. අද වන විට නානාප්‍රකාර සුවඳින් යුතු විවිධාකාර සබන් නිශ්පාදන රැසක් වෙළඳපොලේ දක්නට ලැබෙනවා.
සාමාන්‍යෙයන් දිය නෑමකින් පසුව සම වියළි ස්වභාවයකට පත් වෙනවා. එයට හේතු වෙන්නෙ සබන් නිසා සමේ තෙතමනය අධිකව ඉවත් වීමයි. දිගු කාලීනව සමට නුසුදුසු සබන් භාවිතයෙන් වියළීම, සම රැළි වැටීම සහ සම වියපත් වීම සිදු වෙනවා.
වෛද්‍යවරුන්ගේ මතයට අනුව සබන් යනු දෛනික සම පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය වූවක් මිස සුවඳවත් කිරීමේ ද්‍රව්‍යයක් නොවෙයි. මුල්ම වරට රුව වඩවන සබන් නිශ්පාදනය කරලා තියෙන්නෙ 1878 දි පාර්ලි ප්‍රොක්ටර් සහ ජේම්ස් ගැම්බල් විසින්. ඔවුන් එය අයිවරි සබන් ලෙස නම් කළ අතර මෙම සබන් වර්ගය අදටත් වෙළඳපොළෙහි අලෙවි කරනු ලබනවා.

අධික රසායනික සංයුතියක් සහිත සබන්, ඉහළ පී.එච් (pH) අගයක් සහිත සබන් හෝ ඉහළ අම්ල සංයුතියක් සහිත සබන් භාවිතය සෞඛ්‍යයට අහිතකරයි. ඒනිසා සබන් වර්ගයක් තෝරා ගැනීමේදී මේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න

07/02/2026

සදාචාරය හා සංස්කෘතිය අතර හිරවෙන ලිංගිකත්වය

ඇරස්ටෝටල් ප්‍රකාශ කරන පරිදි; මිනිසාට උපතින්ම හිමි වන ප්‍රධාන ආශාවන් ත්‍රිත්වයකි. එනම් ධනය, බලය සහ ලිංගිකත්වය ළඟා කර ගැනීම යි. මින් ධනය හා බලය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කළ ද, තෙවන අවශ්‍යතාවය පිළිබඳව ප්‍රසිද්ධියේ කථා නොකරයි. බොහෝ විට ලිංගිකත්වය අප්‍රසිද්ධ, අප්‍රකට මාතෘකාවක් බවට පත් වී ඇත. ඉන් ලිංගිකත්වය පිළිබඳ ආශාවක් හෝ අවශ්‍යතාවයක් පුද්ගලයාට නොමැති බව ප්‍රකාශ නොවේ.

ලිංගිකත්වය ඉගැන්වීම

ලිංගිකත්වය පිළිබඳව අවබෝධය සහ දැනුම ලබාදීම අතිශයින්ම වැදගත් ය. විශේෂයෙන්ම, නව යොවුන් වියේ පසුවන දරුවන් මේ කාල පරාසය තුළ දී ශාරීරික වශයෙන් විශාල වෙනස්කම් ප්‍රමාණයක් අත්විඳී. අනාගතයේ දී දරුවකු වැදීම සඳහා ශරීරය සූදානම් වේ. ශාරීරික වෙනස්කම් සමග ඔවුනට තම ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව කුතුහලයක් ඇති වීම ස්වභාවික ය. එලෙස ඇති වන කුතුහලය සංසිඳුවා ගනු වස්, ලිංගිකත්වය පිළිබඳව කරුණු, දැනුම සොයා යනු ලබයි. නමුත්, එලෙස කරුණු සොයා යාම සඳහා විශ්වසනීය සහ විධිමත් මූලාශ්‍ර පවතින්නේ ඉතා අවම වශයෙනි. එලෙස කරුණු ලබා ගත හැකි විශ්වසනීය මූලාශ්‍ර ලෙස පාසල සහ දෙමව්පියන් හඳුනාගත හැකිය.
නමුත්, දෙමාපියන් බොහෝ විට සදාචාරය මත පදනමව ලිංගිකත්වය පිළිබඳව තම දරුවන්ට අවබෝධ කර දීමට ඉදිරිපත් නොවේ. පාසලේ ගුරුවරු ද බොහෝ විට සදාචාරය හා සංස්කෘතිය මතට මුවා වෙමින් ලිංගිකත්වය පිළිබඳ පාඩම් මඟ හරිමින් හෝ අතපසු කරමින් ඉදිරියට යනු දැකගත හැකිය. මෙලෙස මවුපියන් හා ගුරුවරුන් යන දෙපාර්ශ්වයම තමාගෙන් ඉටුවිය යුතු වගකීම් මඟ හැරීම හෝ අතපසු කිරීම හරහා තරුණ පරම්පරාවට ලිංගිකත්වය පිළිබඳව විධිමත් දැනුමක් ලැබීමේ ඉඩකඩ අහිමි වේ. බොහෝ යෞවනයන්ට ළමා වියෙන්, වැඩිහිටි වියට සංක්‍රමණය වන අවස්ථාවේ දී ලිංගිකත්වය පිළිබඳව ව්‍යාකූල හා විසංවාදී තොරතුරු ලැබේ. යෞවනයින්ට ආරක්ෂාකාරී, ඵලදායි හා පරිපූර්ණ ජීවිතයක් ගත කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා දීමේ දැඩි අවශ්‍යතාවයක් මේ නිසාම උද්ගත වෙයි. පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම හරහා යෞවනයන්ට ඔවුන්ගේ සමාජ සම්බන්ධතා, ලිංගිකත්වය පිළිබඳව දැනුවත් තීරණ ගැනීමට, යහපැවැත්මට අවදානම් ඇති කරන්නා වූ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, අසමානතාව, අනවශ්‍ය ගැබ් ගැනීම්, ලිංගික සම්ප්‍රේෂණ රෝග වැනි අවදානම්වලින් මිදී යහපත් ජීවන රටාවකට පියනැගීමට එය මනා පිටුවහලක් වේ.

නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබෙන විට;

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම හේතුවෙන් තරුණ ප්‍රජාව නොයෙකුත් ලිංගික රෝග සහ මානසික, කායික, සමාජීය ගැටළුවලට මුහුණ දෙන ආකාරය දැකගත හැකිය. ලංකාවේ තරුණ ජනගහනය මිලියන 4.4ක් පමණ වේ. ඉන් 50%කට පමණ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති බව කරන ලද අධ්‍යයනවලින් හෙළි වී ඇත. නිසි අධ්‍යාපනයක් නොලැබීම හරහා අනවශ්‍ය ලෙස නව යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනීම, ලිංගික සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වීම, කායික මානසික පීඩනයට සහ අවහිරතාවයට මුහුණ දීම යනාදී ඛේදවාචකයන් අපට දැකගත හැකිය.
ලංකාව තුළ අවුරුදු 20ට අඩු ගැබිණි මාතාවන් 20,000ක් පමණ වාර්ෂිකව වාර්තා වේ. 2018 UNICEF සංවිධාන වාර්තාවකට අනුව, 2016 ලංකාවේ ගර්භනී කාන්තාවන් අතරින් 4.6%ක් නව යොවුන් වියේ පාසල් දරුවන් ය. ඇතැම් පළාත්වල 5%ත් 8%ත් අතර අගයක් ගනී. මීට අමතරව ඒත් සමගම ලංකාව තුළ වාර්තා වන නීති විරෝධී ගබ්සා කිරීම් ද ඉහළ යමින් පවතී. මෙලෙස නව යොවුන් වියේ දී සිදුවන ගැබ් ගැනිම් (අනපේක්ෂිතව) නිසාම අදාළ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නතර වීම, සමාජීය වශයෙන් පීඩනයට ලක් වීම සහ මන්ද පෝෂණයෙන් යුතු දරුවන් බිහි වීම ආදී ප්‍රතිඵල දැකගත හැකිය. මෙලෙස නව යොවුන් වියේ ගැබ් ගැනීමට ප්‍රධාන හේතුව ලෙස නොදැනුවත්භාවය, උපත් පාලන පෙති සහ කොපු භාවිතා නොකිරීම හඳුනාගෙන ඇත.
ඊට අමතරව, අවදානම් සහ අවිධිමත් ලෙස සිදුකරන ලිංගික ක්‍රියාකාරකම් හරහා ලිංගික සම්ප්‍රේෂණ රෝග ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතියි. 2015 දී වාර්තා වුණු ඒඩ්ස් රෝගීන්ගෙන් 75 දෙනෙකුම වයස අවුරුදු 15ට වඩා අඩු නව යොවුන් වියේ දරුවන් වීම කනගාටුවට කරුණකි.
මේ ආකාරයට නව යොවුන් වියේ ගැබ් ගැනීම් හෝ ලිංගික රෝග ව්‍යාප්ත වීමට ප්‍රධානතම හේතුව බවට පත් වන්නේ, මෙවැනි සිදුවීම් වළක්වා ගැනීම උදෙසා නව යොවුන් වියේ දරුවන්ට පවතින අවබෝධය සහ දැනීමේ පවතින අවම බව යි. 2018 දී UNICEF සංවිධානය නිකුත් කළ වාර්තාවක තවදුරටත් දක්වන්නේ ගැහැනු දරුවන්ගෙන් සියයට හැට හයක් (66%) තමන් වැඩිවියට පත් වන තුරුම අදාළ ක්‍රියාවලිය පිළිබඳව කිසිවක් නොදන්නා බව ය. එසේම කොන්ඩම් එකක් භාවිතයෙන් බොහෝ ලිංගික රෝග වළක්වා ගත හැකි බවට තරුණ පරම්පරාවට අවබෝධයක් ඇත්තේ 48%ක පිරිසකට පමණි. ඒ අනුව බහුතරයකට කොන්ඩම් භාවිතය පිළිබඳ අවබෝධයක් නොමැති බව ද පැහැදිලි වේ. මෙය අනවශ්‍ය ගැබ් ගැනීමට මෙන්ම ලිංගික රෝග ව්‍යාප්ත වීමට ද හේතුවකි.
ලිංගිකත්ව අධ්‍යාපනයේ ඇති වැදගත්කම පිළිබඳ අවධාරණය කිරීම උදෙසාම 2016 දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ජාතික සමීක්ෂණයක් පවත්වන ලදී. ඒ හරහා පාසල් දරුවන්ගේ ලිංගික නැඹුරුව සහ අධ්‍යාපනය පිළිබඳව අවධානයට ලක් වීය. මෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කරුණාතිලක මහතා ය. මෙහි වාර්තාව 2019 මාර්තු මාසයේ දී නිකුත් විය. මෙම පරීක්ෂණය සඳහා අහඹු ලෙස දිවයිනම ආවරණය වන පරිදි පාසල් 294ක් තෝරාගෙන ඇත. 2776ක් දරුවන් පරීක්ෂණයට භාජනය කර ඇති අතර, එහි පිරිමි දරුවන් 1065ක් ගැහැණු දරුවන් 1707 ද වේ. විදුහල්පතිවරුන් 176ක් ද, ලිංගික අධ්‍යාපන විෂය භාර ගුරුවරු 276ක් ද, මීට අමතරව දෙමාපියන් 990ක් ද මේ සමීක්ෂණය සඳහා දායක කර ගෙන ඇත. මෙම පරීක්ෂණ වාර්තාවට අනුව දරුවන්ට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනයක් ලබාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය පැවරෙන්නේ පාසලක ගුරුවරුන්ට ය. දෙමව්පියන්ට ද ඒ වගකීමෙන් වියුක්ත විය නොහැකි ය.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය යනු;

ලිංගිකත්වය පිළිබඳ ඥානමය, නෛතික හා සමාජ සාධක සම්බන්ධයෙන් විෂය මාලාවක් ඔස්සේ සිදුකරනු ලබන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියකි.

පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබා ගැනීම තුළින්;

• ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය හා චර්යාව සම්බන්ධ නව යොවුන් වියේ දරුවන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය වීම.
• පාසල තුළ හෝ බාහිරව ලබා දෙන පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය නිසා අවදානම් සහගත ලිංගික හැසිරීම් හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව අවබෝධය වර්ධනය වීම.
• එවැනි අවදානම් සහගත ක්‍රමයන්ගෙන් දුරස් වී සිටීමට හැකියාව ලැබීම.
• ලිංගිකත්වය පිළිබඳව පවතින ගැටළු අවම කර ගැනීමට හැකි වීම.
වැනි සාධනීය ප්‍රතිඵල ගණනාවක් ළඟා කරගත හැකිය.

ලිංගිකත්වය යන්න තවදුරටත් රහසක් නොවිය යුතු ය. ලිංගිකත්වය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් යෞවන, තරුණ ප්‍රජාවට ලබා දීම අතිශයෙන්ම වැදගත් ය. යමක් රහසක් වූ පමණින් තරුණයන් එය සොයා යාමට දක්වන රුචිකත්වය ඉහළ ය. නමුත් අදාළ කාරණා ප්‍රසිද්ධියේ උගන්වන්නේ නම්, අදාළ කාරණා පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නම් රහසිගත, අවිධිමත් මාර්ග හරහා එම කරුණු ගවේෂණය කිරීමට යොමු නොවේ. සදාචාරය හෝ සංස්කෘතියට මුවා වෙමින් තවදුරටත් ලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම අතපසු නොකළ යුතු ය. එලෙස අතපසු කරන මොහොතක් පාසා තරුණයෙකුගේ හෝ තරුණියකගේ ජීවිතය විනාශ වීමට හැකි බව ද අමතක නොකළ යුතු ය.

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න

06/02/2026

හෘදයාබාධ සහ ආඝාතයෙන් මිදීමට නම්.....
"ඔබේ කොලෙස්ටරෝල් මට්ටම අවුරුදු 25 වන විට පරීක්ෂා කර ගන්න"

සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීම සඳහා වයස අවුරුදු 25 වන විට කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කළ යුතු බව පර්යේෂකයින් කණ්ඩායමක් පෙන්වා දී තිබේ.
පර්යේෂකයින් පවසන්නේ, හෘද රෝග හා ආඝාතයට ගොදුරු වීමෙන් ඇති වන ජීවිත අවදානම ගණනය කිරීම සඳහා එලෙස කොලෙස්ටරෝල් පරීක්ෂා කිරීම වැදගත් වන බවය.
The Lancet සගරාවේ පළ කර ඇති මෙම පර්යේෂණය, දශක ගණනාවක් තිස්සේ "නරක" කොලෙස්ටරෝල් උවමනාවට වඩා ශරීරගතව තිබීම නිසා ඇති වන දිගු කාලීන සෞඛ්‍ය අවදානම් පිළිබඳව සොයා බැලීමට සිදු කළ වඩාත් ම පුළුල් පරීක්ෂණය ලෙස සැලකේ.
පර්යේෂකයින් පවසන්නේ, ආහාර ගැනීම වෙනස් කිරීම හා ඖෂධ භාවිතයෙන් කොලෙස්ටරෝල් අවම කිරීමට පියවර ගැනීම ඉක්මන් වන තරමට ප්‍රතිඵල වඩා යහපත් වන බවය.

කොලෙස්ටරෝල් යනු මොනවා ද?

කොලෙස්ටරෝල් යනු මේදමය ද්‍රව්‍යයක් වන අතර එය ලිපිඩයකි. ඒවා ඇතැම් ආහාරවල ඇතුළත් වන අතර අක්මාව තුළ ද නිපදවෙයි.
ඊස්ට්‍රජන් සහ ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන මෙන් ම විටමින් ඩී සහ වෙනත් සංයෝග සෑදීම සඳහා ඒවා ශරීරයට අවශ්‍ය වේ.
කොලෙස්ටරෝල් වර්ග දෙකක් පවතී:
• අධි - ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් HDL (High-density lipoprotein) නමැති "හිතකර" කොලෙස්ටරෝල් වර්ගය ශරීරය නිරෝගීව තබා ගැනීමට උපකාර වේ.
• අඩු - ඝනත්ව ලයිපොප්‍රෝටීන් හෙවත් LDL (Low-density lipoprotein) නමැති "අහිතකර" කොලෙස්ටරෝල් වර්ගය මගින් ධමනි අවහිර වේ.

පර්යේෂකයින් සොයා ගත්තේ කුමක් ද?

පර්යේෂණ කණ්ඩායම රටවල් 19 ක පුද්ගලයන් 400,000 කට ආසන්න සංඛ්‍යාවකගේ දත්ත විශ්ලේෂණය කළ අතර "නරක - කොලෙස්ටරෝල්" මට්ටම සහ වැඩිහිටි වියේ මුල් කාලයේ සිට ඉදිරි අවුරුදු 40 හෝ ඊට වැඩි කාලය තුළ හෘද රෝග ඇති වීමේ අවදානම අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ඇතැයි සොයා ගත්හ.
වයස අවුරුදු 35 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ ස්ත්‍රී පුරුෂ භාවය, නරක - කොලෙස්ටරෝල් මට්ටම, වයස සහ අවදානම් සාධක වන දුම්පානය, දියවැඩියාව, උස - බර සහ රුධිර පීඩනය ආදිය පරීක්ෂා කිරීමෙන් ඔවුන්ට හෘදයාබාධ හෝ ආඝාතය ඇති වීමේ සම්භාවිතාව තක්සේරු කිරීමට ද පර්යේෂකයින්ට හැකි විය.
මෙම පර්යේෂණ කෘතියේ සම කර්තෘ හැම්බර්ග් විශ්වවිද්‍යාල හෘද මධ්‍යස්ථානයේ මහාචාර්ය ස්ටෙෆාන් බ්ලැන්කන්බර්ග් පැවසුවේ, "පුද්ගලයෙකුට ලිපිඩ අඩු කිරීමේ ප්‍රතිකාරයක් තිබිය යුතු ද යන්න තීරණය කිරීමට සායනයේ දැනට භාවිත කෙරෙන අවදානම් ලකුණු මට්ටම මගින් අවදානම තක්සේරු කරන්නේ, වසර 10 කට විතරයි. ඒකෙන් ජීවිත කාලය තුළ ඇති අවදානම අවතක්සේරු වෙන්න පුළුවන්. විශේෂයෙන් ම යෞවනයන් සම්බන්ධයෙන්."
එක්සත් රාජධානියේ මිලියන අටක් පමණ ජනතාව මේදය අඩු කිරීමේ ඖෂධ ලබා ගන්නා අතර එමගින් රුධිරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙයි.
එමගින්, වසර පහක් ඖෂධ ගන්නා සෑම 50 දෙනෙකුගෙන් එක් අයෙකු ම හෘදයාබාධ හෝ ආඝාතයට ගොදුරු වීමෙන් වළක්වා ගත හැකි බවට ඇස්තමේන්තු කර ඇත.

ක්‍රියාකාරී ජීවන රටාවක් සහ සෞඛ්‍ය සම්පන්න ආහාර මගින් ද කොලෙස්ටරෝල් අඩු කර ගත හැකිය.

කොලෙස්ටරෝල් පාලනය කරන ඖෂධ වයස අවුරුදු 30දී ගත යුතු ද?

අනිවාර්ය නොවේ. ඉහළ කොලෙස්ටරෝල් මට්ටමක් ඇති ඕනෑ ම වැඩිහිටියෙකු ඖෂධ ලබා ගත යුතු යැයි මෙම පර්යේෂකයෝ නිර්දේශ නොකරති.
මහාචාර්ය බ්ලැකන්බර්ග් බීබීසී පුවත් සේවයට පැවසුවේ, "යෞවනයන් ඔවුන්ගේ කොලෙස්ටරෝල් මට්ටම දැනගෙන එහි ප්‍රතිඵලය පිළිබඳව දැනුවත් තීරණයක් ගත යුතු යැයි මම නිර්දේශ කරනවා. එහිදී ඖෂධ භාවිත කිරීම ගැනත් ඔවුන්ට තීරණයක් ගත හැකියි."
කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු නොවී මිනිසුන් ඖෂධ මත යැපෙන අන්තරායක් පවතින බවත්, එම ඖෂධවලින් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵල ලැබුණ ද, දශක ගණනාවක් තිස්සේ ඒවා ගැනීමෙන් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳව මෙතෙක් අධ්‍යයනයක් සිදු කර නොමැති බවත් ඔහු පැවසීය.

බ්‍රිතාන්‍යයේ British Heart Foundation ආයතනයේ වෛද්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය ශ්‍රීමත් නිලේෂ් සමානි පැවසුවේ, "හෘදයාබාධ සහ ආඝාතය සදහා බලපාන ප්‍රධානතම සාධකය කොලෙස්ටරෝල් බව මෙම පර්යේෂණය මගින් යළිත් තහවුරු වූ," බවය.
"සමහර පුද්ගලයින්ට, කොලෙස්ටරෝල් අඩු කිරීමට මුල් අවධියේදී පියවර ගැනීමෙන්, මෙම රෝගවලින් ඔවුන්ගේ ජීවිත කාලය පුරා ම ඇති අවදානම අවම කර ගැනීම සඳහා සැලකිය යුතු මග පෙන්වීමක් මෙම පර්යේෂණය තුළින් ලැබෙනවා."

උපුටා ගැනීම අන්තර් ජාලයෙනි ......
_______________________________________
අප මෙම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඔබේ දැනුම සඳහායි.......................................................................
* මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට ''Need TV'' facebook පිටුවට Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය Share කරන්න

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Colombo