Ceylon News

Ceylon News

Share

Ceylon News | Truth. Fast. Always.

12/07/2026

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යලි සැප්තැම්බර් මස 09 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසුරිය, සහ තිලකරත්න බණ්ඩාර ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය ජුනි 26 වැනිදා නඩුව කැඳවු අවස්ථාවේදී මහාධිකරණ ප්‍රධාන විනිසුරු මංජුල තිලකරත්න විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසි ලෙස ස්ථාපිත කර නොමැති බවයි.

ඒ අනුව අද එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නම් කර නඩුව කැඳවනු ලැබුවා.

12/07/2026

පසුගිය ජුනි 8 වැනි බදාද ගොවි නියෝජිත කණ්ඩායමක් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු රාශියක් ඉදිරිපත් කළ බවත් ඒ අවස්ථාව වන තුරු වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ගැසට් කර නොතිබු බවත් ඒ අවස්ථාවේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ පසු වී අලෙවි මණ්ඩලය චක්‍ර ලේඛයක් හරහා වී සඳහා ලබා දෙන ස්ථාවර මිල ප්‍රකාශයට පත් කළ බවත් මේ චක්‍රලේඛ ප්‍රකාරව උපරිම තෙතමනය 14%ක ප්‍රතිශතයක් තුළ විවිධ කොන්දේසි දමා නාඩු රු. 120ට, සම්බා රු. 130ට සහ කීරි සම්බා රු. 140‌ට ලෙස ගැසට් නිකුත් කර ඇති බවත් එදා පාර්ලිමේන්තුවේ මේ කරුණු ඉදිරිපත් කරනතුරු ගැසට්ටුව නිකුත් නොකළ රජය අද විපක්ෂයේ කටවල් වහන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය විසින් වී කිලෝවකට රු. 137ක් වැයවන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ බවත් එවැනි ප්‍රකාශ කර කර අඩු මිලට වී මිල දී ගන්නා බවත් මේවා ගැන ප්‍රශ්න කිරීම අද තහනම් කර ඇති බවත් ගොවි ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වීවලට ලබා දිය යුතු සාධාරණ ස්ථාවර මිල වෙනුවෙන් කළ හැකි උපරිම සටන සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

මේ රජයේ මන්ත්‍රීවරුන් කරන්නේ තමන්ව පත් කළ ගොවි ජනතාවට ද්‍රෝහී විමක් බවත් මොවුන් ගොවියාගේ අයිතිය උදුරා ගනිමින් යන බවත් එදා ගොයම් කකා රු. 150ක ස්ථාවර මිලක් දෙනවා කිව්වත් අද එය නොමැති බවත් විපක්ෂයේ හඩ කාරක සභා තුළ මර්දනය කළත් ගොවි ජනතාව වෙනුවෙන් කතා කිරීම නැවැත්විය නොහැකි බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත මේ අයිතිය සුරක්ෂිත කරන්න සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

12/07/2026

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මාරාන්තික ප්‍රචණ්ඩත්වය සහ අනෙකුත් බන්ධනාගාරවල ආරක්ෂකයින් විසින් රැඳවියන්ට එරෙහිව පළිගැනීම් සිදු කරන බවට ලැබෙන වාර්තා දැඩි කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සඳහන් කරනවා.

ඝාතනයට ලක්වූ සහ තුවාල ලැබූ රැඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් යන දෙපාර්ශවයේම පවුල්වල සාමාජිකයින්ට සත්‍යය දැන ගැනීමට සහ වගවීම දැකීමට අයිතියක් ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලයේ ප්‍රකාශිකා රවීනා ෂම්දාසානි පවසන්නේ.

මෙම ප්‍රචණ්ඩත්වය මගින් ශ්‍රී ලංකාව තුළ රැඳවුම් භාරයේ තබා ගැනීමට අදාළ ව්‍යුහාත්මක ගැටලුවලට, විශේෂයෙන්ම දීර්ඝ කාලීන පූර්ව නඩු විභාග රැඳවුම් කාලසීමාවන්, අධික තදබදය සහ රැඳවුම් පහසුකම්වල පවතින ප්‍රමාණවත් නොවන තත්ත්වයන්ට කඩිනමින් විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාවය අවධාරණය කර බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් රඳවා තබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සිරගත කිරීමට වඩා සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රතිචාරයන්ගෙන් ප්‍රතිලාභ ලැබිය යුතු බව ද එහි සඳහන්.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් විමර්ශන පවත්වන බවට බලධාරීන් ලබා දී ඇති පොරොන්දුව පිළිගන්නා බවයි ඇය පවසන්නේ.

මීගමුව බන්ධනාගාරයට මෙන්ම අනෙකුත් සියලුම බන්ධනාගාරවලට, විශේෂයෙන්ම සිරකරුවන් මාරු කර යවන ලද සහ ඔවුන් වධහිංසාවලට හා අනෙකුත් අනිසි සැලකීම්වලට ලක් වූ බවට කියනු ලබන රැඳවුම් පහසුකම් වෙත, බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

12/07/2026

මහා භාණ්ඩාගාරයේ පවතින ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට යල් පැන ගොස් ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණ කළා.

ඒ විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් පසුගියදා පැවති එම කාරක සභා රැස්වීමේදීයි.

කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එහිදී අදහස් පල කළා.

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම, සයිබර් අපරාධයකට සම්බන්ධ වංචාවක් බවට රජයේ මුදල් කාරක සභාව නිගමනය කළා.

ඊට අදාළ වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, මීට අමතරව එම වාර්තාව තුළින් තවත් නිගමන හා නිර්දේශ රැසක් ද දක්වා තිබුණා.

12/07/2026

කුරුල්ලන් ගැටුණු තුර්කි ගුවන් යානය මීගමු අහසේ පියාසර කර සාර්ථකව කටුනායකින් ගොඩබායි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් තුර්කියේ ඉස්තාන්බුල් බලා පිටත්වූ A330 මගී ගුවන් යානයේ ඊයේ (11) උදෑසන පක්ෂියෙකු ගැටුණා.

එසේ පක්ෂියෙකු ගැටුණු එම ගුවන් යානය මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ගුවන්යානය හලාවත අහසේ ඉතා පහතින් පියාසර කරමින් ඉන්ධන දහනය කිරීමෙන් අනතුරුවයි මෙසේ ආරක්ෂිතව යළි කටුනායකට ගොඩ බස්වා ඇත්තේ.

මෙම යානයෙන් මගීන් 253 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා.

11/07/2026

කිසිම රජයක් ගොවි ජනතාව වෙනුවෙන් වී මිලදීගන්න අපි වගේ මුදල් වෙන් කරලා නෑ
- ජනපති අනුර -

11/07/2026

මත්තල ගුවන් තොටුපලේ ආයෝජන සඳහා දෙස් විදෙස් ආයෝජකයින් 19 දෙනෙකු එකඟතාව පලකර ඇතැයි වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සඳහන් කළේ, ඒ සඳහා දුන් කාලය ඊයේ(10) දිනයෙන් අවසන්වූ බවයි.

ඒ අනුව අදාළ ආයෝජකයින්ගෙන් ඉදිරියේදී මත්තල ගුවන් තොටුපල සංවර්ධනය සඳහා ව්‍යාපෘති ආරම්භ කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

11/07/2026

හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත් එම පණිවිඩ මගින් ලබාදෙන ලින්ක් ඩවුන්ලෝඩ් කරන්න නොගන්නා ලෙසත් පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම එම සංසදය වැඩිදුරටත් සඳහන් කරන්නේ යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැගුණොත් 101 අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසය.

හදිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව සදහන් පණිවිඩ මේ වනවිට සමාජ ජාලවල විශාල වශයෙන් ප්‍රචාරය වේ.

මෙම පණිවිඩවල දැක්වෙන්නේ, ඇතැම් ආයතන රුපියල් 5000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය මුදල් ලබා දීමට සූදානම් බවය.

තවත් ආයතන රුපියල් ලක්ෂ 05 දක්වා ණය මුදල් ලබාදීමට සූදානම් බව ද එහි දැක් වේ.

''මේ ණය ලබාගැනීමට ලියකියවිලි අවශ්‍ය නැත. ඇපකරුවන් අවශ්‍ය නැත.'' යනුවෙන් ද එහි සඳහන්.

මේ වංචනික ආයතනවලට අවශ්‍ය ඔබගේ පුද්ගලික දත්ත සොරාගැනීමටය.

ඒ හරහා විවිධ වාසි ලබා ගන්නා ඔවුන්, ණය ලබා ගැනීම සදහා ලියකියවිලි අවශ්‍ය නොවන නමුත් එම ආයතන විසින් එවන link එක click කර තොරතුරු ඇතුලත් කිරීමට ණය අයදුම්කරුවාට පවසා සිටී.

ලින්ක් එක ක්ලික් කළ වහාම ඔවුන් වංචනිකයන්ට ගොවුරු වී අවසන්.

ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ Remote Administrative Tool හෙවත් RAT එකකි.

RAT ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනු ලැබේ.

ජංගම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේබන, හිතවතුන්ගේ තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරුවලට ප්‍රවිෂ්ට වීමට ඔවුනට ඒ හරහා හැකියාව ලැබේ.

ඇතැම් විට .apk යෙදවුමක් ඇතුල් වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකිය.

ණය මුදල ලබාදීමෙන් පසු එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර එලෙස ආපසු ගෙවා ගත නොහැකි තරමට ණය මුදල වැඩි වූ පසු ඔවුන් වංචනිකයන්ට ගොදුරු වන්නට පටන් ගනි.

ගෙවිය යුතු පොලිය මෙන්ම ඉටුකළ යුතු කොන්දේසි ද දැඩි වන අතර මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන්ට නොයෙකුත් අකටයුතුකම්වලට ලක් වීමට සිදු වේ.

තම හිතවතුන් හමුවේ ණයකරුවෙකු ලෙස චෝදනාවට ලක්වීමට මේ හරහා සිදුවන බවත්, පහසු ණය ගන්නට ගොස් අවසානයේ අතේ තියෙන මුදල ද ඔවුනට අහිමි වේ.

11/07/2026

මෙරට විදෙස් සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වෙනුයේ පසුගිය මැයි මාසයේදී මෙරට සමස්ත සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,881ක් පැවැතියද එය ජුනි මාසයේදී පහත වැටී ඇති බවය.

ඒ අනුව ජුනි මාසයේදී මෙරට පැවති සංචිත ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් වන අතර එය පසුගිය මැයි මාසයට සාපේක්ෂව අමෙරිකානු ඩොලර් මිලියන 431ක පහත වැටීමකි.

මෙම සංචිත අඩුවී සඳහා විදෙස් මුදල් සහ රන් සංචිත පහළ යාම හේතු වී ඇති බවද මහ බැංකුව අදාළ වාර්තාවේ පෙන්වා දී තිබේ.

එහිදී පසුගිය මැයි මාසයේදී විදෙස් මුදල් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 6,661ක් වාර්තා වී තිබුණද එය ජුනි මාසය වන විට අමෙරිකානු ඩොලර් මිලියන 407ක අඩුවීමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 6,254ක් ලෙස සටහන් වී ඇත.

තවද රන් සංචිතවල සැලකිය යුතු පහළ යෑමක්ද මෙහිදී වාර්තා වී ඇති බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සටහන් වී තිබේ.

ඒ අනුව පසුගිය මැයි මාසයේදී රන් සංචිත අමෙරිකානු ඩොලර් මිලියන 216ක් ලෙස වාර්තා වී තිබුණද පසුගිය ජුනි මාසයේදී රන් සංචිතවල පහළ යාමක් පෙන්නුම් කරමින් එය ඩොලර් මිලියන 191ක් ලෙස වාර්තා වී තිබේ.

මේ අනුව පසුගිය මැයි මාසයට සාපේක්ෂව මෙරට රන් සංචිතයේද කැපී පෙනන අඩු වීමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වී තිබේ.

11/07/2026

පුනරුත්ථාපන සැලැස්ම හදලා තිබ්බේ. ක්‍රියාත්මක වෙන්න පටන්ගද්දි ආණ්ඩුව වෙනස් වුණේ.
- නාමල් රාජපක්ෂ -

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo