Natasha Fallon

Natasha Fallon

Share

international diploma nvq level 4 city & guilds U.K.,spiritual healer ,professional tarot reader 👩‍🎓🇱🇰

05/05/2026

ලෝකේ තියෙන ලස්සනම රටවලින් එකක් වෙලත් මිනිස්සු නවසීලන්තය දාලා යන්නේ ඇයි? 🇳🇿✈️🇦🇺

ඔබ නවසීලන්තය ගැන හිතද්දී ඔයාගේ ඔළුවට එන්නේ මොනවද? ලස්සන කඳු පන්ති, කොළ පාට තණබිම්, කිරි, බැටළුවෝ, දූෂණයක් නැති ආණ්ඩුවක් වගේම ඉහළ ජීවන තත්ත්වයක් නේද? සංචාරකයින්ට මේක හරියටම සුරපුරයක් වගේ. හැබැයි මේ ලස්සන කතාව පිටිපස්සේ ඇඟ කිලිපොළා යන ආර්ථික ඇත්තක් හැංගිලා තියෙනවා.

අද වෙද්දී නවසීලන්තයේ ඉන්න තරුණ, වැඩ කරන්න පුළුවන් වයසේ ඉන්න දක්ෂ මිනිස්සු, මේ ලස්සන රට දාලා මහා පරිමාණයෙන් වෙන රටවලට යන්න පටන් අරන්. මේ යන අයගේ සාමාන්‍ය වයස අවුරුදු 29ක් විතර වෙනවා. පහුගිය මාස 12 ඇතුළත විතරක් 73,000 කට වඩා මිනිස්සු රට දාලා ගිහින්. සමහර යුධ ගැටුම් තියෙන තුන්වෙනි ලෝකයේ රටවලින් මිනිස්සු යනවාට වඩා වේගයෙන්, මේ දියුණු රටේ මිනිස්සු රට දාලා යනවා!

ගොඩක් අය යන්නේ කොහේටද දන්නවද? අල්ලපු රට වෙන ඕස්ට්‍රේලියාවට. කොරෝනා කාලේ ලෝකෙම කතා වුන, නවසීලන්තයේ මේ තත්වය පාලනය කරපු අගමැති Jacinda Ardern පවා දැන් ඕස්ට්‍රේලියා ගිහින්. අද වෙද්දී නවසීලන්ත ජනගහනයෙන් 10% කට වඩා (600,000 කට කිට්ටුව) ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවෙ. ලෝකෙම එන්න හීන දකින මේ රට, ඒ රටේම මිනිස්සුන්ට එපා වුණේ ඇයි? 🏔️📉

මේ කතාව තේරුම් ගන්න නම් අපි ටිකක් අතීතයට යන්න ඕනේ. නවසීලන්තය කියන්නේ ලෝකේ අනිත් රටවල් වලින් ගොඩක් දුරින් හුදකලාව පිහිටලා තියෙන පොඩි රටක්. මුළු රටේම ඉන්නේ මිනිස්සු මිලියන 5.3 ක් විතරයි. (ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඉන්න මිනිස්සු ගාණමයි). 🐑💰

මුල් කාලේ ඉඳන්ම මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ රැඳිලා තිබුණේ කෘෂිකර්මාන්තය උඩ. 1982 වෙද්දී මේ රටේ එක මනුස්සයෙකුට බැටළුවෝ 23 දෙනෙක් හිටියා! (මිනිස්සු මිලියන 3යි, බැටළුවෝ මිලියන 70යි!). රටේ අපනයන වලින් 50% කට වඩා තිබුණේ බැටළු ලොම්, කිරි සහ මස්. මේවා ඔක්කොම වගේ යැව්වේ බ්‍රිතාන්‍යයට. මේ නිසා නවසීලන්තය ඇමරිකාවටත් වඩා පොහොසත් රටක් වෙලා තිබුණා.

හැබැයි කෘතිම රෙදි හොයාගත්තාම ලොම් වල මිල අඩු වුණා. ඒ වගේම බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයට එකතු වුණාම, නවසීලන්තයට බ්‍රිතාන්‍යයේ මාකට් එක නැති වුණා. 1970 ගණන් වෙද්දී රට ලොකු ආර්ථික අර්බුදයකට ගියා.

1984 දී ආපු නවසීලන්ත ආණ්ඩුව මේක ගොඩදාන්න අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවා. මුදල් ඇමති Roger Douglas ගෙනාපු මේ ප්ලෑන් එකට කිව්වේ "Rogernomics" කියලා. එයා කළේ කෘෂිකර්මාන්තයට දීපු සහනාධාර ඔක්කොම කපලා දාලා, ආනයන බදු අඩු කරලා රටේ ආර්ථිකය ලෝකෙටම විවෘත කරපු එක. 📉🔄

මේකෙන් කෘෂිකර්මාන්තය කඩාගෙන වැටුණා. රැකියා නැති වුණා. දරුවන්ගේ දරිද්‍රතාවය 30% දක්වා වැඩි වුණා. මිනිස්සු ෂෙයාර් මාකට් එකේ සල්ලි දාන්න පටන් ගත්තත් 1987 දී මාකට් එක කඩාගෙන වැටුණා.

මේ මාකට් එක කඩාගෙන වැටීමත් එක්කම, මිනිස්සු වෙන කිසිම බිස්නස් එකකට සල්ලි දාන්න බය වුණා. ඒ වෙනුවට මිනිස්සු තමන්ගේ සල්ලි ඔක්කොම දාන්න පටන් ගත්තේ එකම එක දේකට. ඒ තමයි ඉඩම් සහ ගෙවල්! 🏘️

නවසීලන්තයේ මිනිස්සු රට දාලා යන්න ප්‍රධානම හේතුව මේක. අද වෙද්දී නවසීලන්තයේ සාමාන්‍ය ගෙදරක මිල, ඒ රටේ කෙනෙක්ගේ වාර්ෂික ආදායම වගේ 14 ගුණයක් වෙනවා! ඕක්ලන්ඩ් නගරයේ මේක 17 ගුණයක්. (ලෝකේ තියෙන ගෙවල් ගන්න අමාරුම නගර වලින් 7 වෙනි තැන තියෙන්නේ ඕක්ලන්ඩ්). 🏠💸

ඇයි ගෙවල් මේ තරම් ගණන්?

අසාධාරණ බදු ක්‍රමය: නවසීලන්තයේ ගෙවල් හදන්න, කෑම බීම ගන්න 15% ක බද්දක් (GST) ගහනවා. හැබැයි ඔයා ගෙයක් අරන් ඒක වැඩි ගාණකට විකුණුවොත්, ඒ ලාභයට බද්දක් වදින්නේ නෑ! ඒ නිසා සල්ලි තියෙන මිනිස්සු ඔක්කොම ඉඩම් අරන් තියාගන්නවා.

නොපෙනෙන නීති: Resource Management Act වගේ නීති නිසා අලුතෙන් ගෙවල් හදන්න ඉඩම් හොයාගන්න මාර අමාරුයි. ඒ නිසා තියෙන ඉඩම් වල මිල අහස උසට ගිහින්.

පිටරට මිනිස්සුන්ගේ ඉල්ලුම: ගෙවල් ගණන් ගියාම ආණ්ඩුව පිටරට අයට ගෙවල් ගන්න එක තහනම් කළා (Foreign buyer ban). හැබැයි මේ තහනම ඕස්ට්‍රේලියානුවන්ට අදාළ වුණේ නෑ. ඉතින් සල්ලි තියෙන ඕස්ට්‍රේලියානුවෝ ඇවිත් නවසීලන්තයේ ලස්සන පැති වලින් පෝලිමට ගෙවල් ගන්න පටන් ගත්තා!

මේ නිසා අද ඉන්න තරුණ පරම්පරාවට තමන්ගේම කියලා ගෙයක් ගන්න එක හීනයක් වෙලා.

"ගෙවල් ගණන් නම් පඩිත් වැඩි ඇතිනේ" කියලා ඔයා හිතනවා ඇති. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන! 📉💼

නවසීලන්තයේ මිනිස්සු OECD රටවල සාමාන්‍යයට වඩා 15% ක් වැඩිපුර වැඩ කරනවා, හැබැයි එයාලගේ ඵලදායීතාව​ය (Productivity) 20% කින් අඩුයි.
උදාහරණයක් විදිහට,

නවසීලන්තයේ සාමාන්‍ය කෙනෙක් පැයකට ආර්ථිකයල ලබාදෙන ඵලදායීතාව​ය Purchasing Power Parity (PPP) ඩොලර් 55 (USD) ක් විතර.

ඕස්ට්‍රේලියාවේ ඒක ඩොලර් 81 යි.

ඇමරිකාවේ ඩොලර් 116 යි.

තරුණ කෙනෙක්ට ඕස්ට්‍රේලියාවට ගියාම මීට වඩා ගොඩක් ලොකු පඩියක් ගන්න පුළුවන්. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ තියෙන ගෙවල් වල මිලත් නවසීලන්තයට වඩා සාපේක්ෂව අඩුයි.

නවසීලන්තයේ පඩි අඩු වෙන්න ප්‍රධානම හේතුව තමයි, එයාලගේ ආර්ථිකය තාමත් පදනම් වෙලා තියෙන්නේ ලොකු ලාභයක් නැති (Low value-add) දේවල් උඩ වී​ම. 🥛🏭

ඇමරිකාව, සිංගප්පූරුව වගේ රටවල් දියුණු වුණේ තාක්ෂණය, මූල්‍ය සේවා වගේ ලොකු වටිනාකමක් තියෙන දේවල් වලින් (Tesla, Nvidia වගේ කම්පැනි). හැබැයි අදටත් නවසීලන්තයේ ප්‍රධානම අපනයනය වෙන්නේ මොනවද දන්නවද? කිරි, බටර් සහ චීස්! (මුළු අපනයන වලින් 28%). දෙවෙනියට මස්, තුන්වෙනියට ලී. මේවා විකුණලා ලොකු පඩි ගෙවන්න පුළුවන් ආර්ථිකයක් හදන්න බෑ.

ඒ මදිවට මුළු රටේම ආර්ථිකයෙන් 22.5% ක්ම රඳා පවතින්නේ ගෙවල් විකිණීම සහ ඉඳිකිරීම් උඩ. මේ රටේ අලුත් දේවල් හොයාගන්න (R&D) ආයෝජනය කරන සල්ලි ප්‍රමාණයත් අනිත් දියුණු රටවලට වඩා ගොඩක් අඩුයි.

නවසීලන්තයේ තරුණයින්ට මේ ප්‍රශ්න ඔක්කොගෙන්ම ගැලවෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ඕස්ට්‍රේලියාවට යන එක. 🇦🇺🛫

රටවල් දෙක අතර තියෙන නිදහස් ගිවිසුම් නිසා, නවසීලන්ත ජාතිකයෙකුට කිසිම වීසා ප්‍රශ්නයක් නැතුව ඕස්ට්‍රේලියාවට ගිහින් ජීවත් වෙන්න, වැඩ කරන්න පුළුවන් (හරියට යුරෝපා සංගමයේ - EU රටවල් වගේ). භාෂාවත් ඉංග්‍රීසි, සංස්කෘතියත් එක වගේ. ඕස්ට්‍රේලියාවේ ලොකු නගර වල (Sydney, Melbourne) රැකියා අවස්ථා ගොඩක් තියෙනවා වගේම, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්නත් අවස්ථා වැඩියි.

මේ තරම් ලේසියෙන් අල්ලපු රටට ගිහින් හොඳට සල්ලි හොයන්න පුළුවන් නම්, ඇයි තරුණයෝ නවසීලන්තයේ දුක් විඳින්නේ?

මේ දක්ෂ තරුණයෝ රට දාලා යද්දී, ඒ හිඩැස පුරවන්න ආණ්ඩුව කරන්නේ ආසියානු රටවලින් සංක්‍රමණිකයින්ව ගෙන්වා ගන්න එක. පහුගිය කාලේ ලක්ෂ ගාණක් මිනිස්සු නවසීලන්තයට ආවා. මේ නිසා ජනගහනය වැඩි වුණත්, ආපු මිනිස්සුන්ට ඉන්න ගෙවල් නැති නිසා ගෙවල් කුලිය සහ මිල තවත් අහසට ගියා. 🛬🌏

අනිත් ප්‍රශ්නය තමයි, මේ එන සංක්‍රමණිකයින්ගෙන් ගොඩක් අය නවසීලන්තයේ පුරවැසිකම ගත්තට පස්සේ, එයාලත් ආයෙත් පියාඹන්නේ ඕස්ට්‍රේලියාවටමයි! ඒ කියන්නේ නවසීලන්තය දැන් ගොඩක් අයට ඕස්ට්‍රේලියාවට යන්න තියෙන Backdoor එකක් වෙලා ඉවරයි.

අන්තිමට නවසීලන්තයට ඉතුරු වෙන්නේ, සල්ලි තියෙන ඕස්ට්‍රේලියානු විශ්‍රාමිකයින්ට නිවාඩුවක් ගත කරන්න එන මිල අධික රිටයර්මන්ට් හෝම් එකක් විතරයි.

නවසීලන්තය කියන්නේ අදටත් සාමකාමී, ලස්සන, ජීවත් වෙන්න ආරක්ෂිත රටක්. හැබැයි ආර්ථික කළමනාකරණයේ වැරදි, ගෙවල් වල මිල පාලනය නොකිරීම සහ කෘෂිකර්මාන්තය මතම යැපීම නිසා මේ රටේ අනාගත පරම්පරාවට ඒ රටේම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇවිත් තියෙනවා. 🌟

ලස්සන පරිසරයක් තිබුණට විතරක් රටක් දියුණු වෙන්නේ නෑ කියන එකට මේක හොඳම උදාහරණයක්. මේ රට ගොඩගන්න නම් එක්කෝ ගෙවල් වල මිල අඩු කරන්න ඕනේ (එහෙම කළොත් ආර්ථිකය කඩාගෙන වැටෙනවා), නැත්නම් මිනිස්සුන්ගේ පඩි වැඩිවෙන විදිහේ අලුත් කර්මාන්ත හදන්න ඕනේ. ඒ දෙකම ලේසි නෑ.

නවසීලන්තය ගැන තිබුණු ඔයාගේ අදහස මේ ලිපියෙන් වෙනස් වුණාද? ලස්සන රටක මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා ඇහුවාම ඔයාට මොකද හිතුණේ? මේ ලිපියෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම්, අනිවාර්යයෙන්ම පල්ලෙහායින් Comment කරන්න. ඒ වගේම මේ ලිපියට Like එකක් දාලා, ලෝක දේශපාලනය සහ ආර්ථිකය ගැන දැනගන්න ආස ඔයාගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරන්න අමතක කරන්න එපා! 🇳🇿💸✈️👍💬🗣️

Written By Sulochana Dissanayake
Source : Internet

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

The Grand
Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00