Kavindya Rathnayake

Kavindya Rathnayake

Share

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය ?

29/05/2026

ටැටූ - 24 පරිච්ඡේදය
මගේ දෑස් කෙමෙන් කෙමෙන් විවර වෙද්දී මට මුලින්ම පෙනුණේ සුදු පැහැති සිවිලිමකි. නාසයට දැනුණු තද බෙහෙත් සුවඳත්, වම් අතේ මැණික් කටුව අසලින් ශරීරයට ඇතුළු වෙමින් තිබූ සේලයින් බටයත් මා සිටින්නේ රෝහල් කාමරයක බව පසක් කළේය. හාත්පස රජ කළේ මළානික නිශ්ශබ්දතාවයකි.
“දුව... අනේ.. මගේ පැටියා...”
සිහිය ආ සැණින් මගේ මුවින් බියෙන් ගැහෙමින් පිටවූයේ ඒ වචන කිහිපය පමණි. මම වහා මගේ ශරීරයේ තිබූ අවසන් ශක්තියත් යොදවා ඇඳ මතින් වාඩි වන්නට උත්සාහ කළෙමි. නමුත් යටිබඩ සහ කොන්ද පසාරු කරගෙන ගිය ඒ තද වේදනාව මාව නැවතත් යහන මතටම ඇද දැමුවේය. මගේ දෑස්වලින් කඳුළු කැට කඩා හැලුණි. මගේ කුස දැන් හිස් ය... මගේ ඇඳ අසල තිබූ ඒ පුංචි තොටිල්ලද හිස් ය!
සිහිසුන් වීමට පෙර සිදු වූ ඒ බිහිසුණු සිදුවීම් පෙළ මගේ මනස තුළ චිත්‍රපටයක් මෙන් යළි යළිත් දිග හැරෙන්නට විය. විපුල බාප්පා මගේ දෑත් පිටුපසට කර තද කරද්දී, ඉනෝකා ඒ රෝස පැහැති පුළුන් බෝලයක් වැනි මගේ දියණියව බලහත්කාරයෙන් පැහැරගෙන මහා වැස්සේම නොපෙනී ගිය අයුරු මතක් වෙද්දී මගේ පපුව පැලෙන්නට ආවේය.
“අනේ... කවුරුත් නැද්ද... මගේ බබාව බේරලා දෙන්න... මගේ දූව මට ගෙනත් දෙන්න...” මම මහා හඬින් විලාප තබමින් කෑ ගැසුවෙමි.
මගේ කෑගැසීමට කාමරයේ දොර විවෘත කරමින් වහා ඇතුළට පැමිණියේ මධ්‍යස්ථානයේ සිටි ප්‍රධාන විදේශීය හෙදියයි. ඇගේ මුහුණේද තිබුණේ මහා කණගාටුවක් සහ අපරාධයකට හවුල් වූවාක් වැනි වරදකාරී හැඟීමකි.
“Oh, Emasha... Please stay calm. You are still very weak,” ඇය මා ළඟට පැමිණ මගේ උරහිසින් අල්ලා සනසන්නට උත්සාහ කළාය.
“Where is my baby? Tell me where is my daughter?!” මම ඇගේ දෑත් තදින් අල්ලාගෙන හඬමින් ඇසුවෙමි.
“I'm so sorry, Emasha...”
ඇගේ දෑස් බිමට බර විය. අනතුරුව ඇය ඉංග්‍රීසී භාෂාවෙන් සෞම්‍ය ලෙසින් කතා කරන්නට පටන් ගත්තාය.
“අපි පොලීසියට කතා කළා. ඒත් ඒ අය එද්දී අර දෙන්නා බබාවත් අරන් වෑන් එකකින් පැනලා ගිහින් ඉවරයි. ඒ අය දීපු ලීගල් ඩොකියුමන්ට්ස් ඔක්කොම ෆේක්. අපි හැමෝම රැවටුණා. පොලීසිය දැන් ඒ අයව හොයනවා. හැබැයි තවම කිසිම ආරංචියක් නැහැ. එයාලා හොඳට සැලසුම් කරලා කරපු දෙයක් මේක.. කවුරු හරි ඇතුලේ කෙනෙක් රහසින් උදව් කරන්න ඇති කියලා හිතෙනවා... අපි කොහොමත් මේ ගැන හොයනවා... අපි බබාව හොයා ගමු...”
හෙදියගේ ඒ කාරුණික වචන මගේ ඉතිරිව තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන් කර දැමුවේය. මම කොට්ටය මත මුහුණ ඔබාගෙන මහා හඬින් හඬන්නට වීමි. මගේ දෝතට ලැබුණු මගේම ලේ, මගේ සැබෑ ආදරයේ එකම සලකුණ වූ මගේ දියණියව මට අහිමි වී ඇත.
‘අනේ අවී.. අපේ බබා... එයාව පරිස්සම් කරගන්න මට බැරි වුණා අවී... එයාව මගෙන් උදුරගත්තා...”
මම ඉකිගසමින් කීවෙමි.. මහ හඩින් කීවෙමි.
දින කිහිපයක් ගත වුවද පර්ත් නගරයේ පොලීසියෙන් මගේ දියණිය ගැන කිසිදු තොරතුරක් ලැබුණේ නැත. ඉනෝකා සහ විපුල බාප්පා ඉතාමත් සූක්ෂ්ම ලෙස මගේ දරුවාව ඔස්ට්‍රේලියාවෙන් පිටත් කර හැරීමට හෝ වෙනත් රහසිගත ස්ථානයකට රැගෙන යන්නට ඇති බව මට සහතික විය.
“මම මේ දරුවව අරන් ගිහින් කොටියෙක්ට කන්න දානවා... තමුසෙට කවදාවත් මූණවත් බලන්න ඉඩ තියන්නේ නැහැ!”
ඉනෝකා එදා කී ඒ කුරිරු වදන් මගේ සවනත යළි යළිත් රැව් දෙද්දී මගේ හිත ඇතුළෙන් මහා භීතියක් මෙන්ම දරුණු වෛරයක් මතු වන්නට විය. මම තවදුරටත් අඬමින්, වැළපෙමින් මගේ දෛවයට ශාප කරන දුර්වල ගැහැනියක නොවිය යුතු බව මගේ යටිසිත මට බල කළේය. මා වැනි අසරණියකට මේ ඈත නගරයේ තනිවම ඒ බලවත් මිනිසුන් සමඟ සටන් කළ නොහැක. මගේ දරුවා ජීවතුන් අතර සිටී නම්, ඇයව බේරාගත හැක්කේ එකම එක මිනිසෙකුට පමණි.
අවිනාශ්...!
ඔහු මගේ දියණියගේ සැබෑ පියාය. ඉනෝකා මගෙන් පළිගැනීමට දරුවා පැහැර ගත්තද, ඇය එය අවිනාශ්ට පවසන්නේ නැති බව මම හොඳින්ම දැන සිටියෙමි. මම වහා ක්‍රියාත්මක විය යුතු විය. මගේ ශරීරය තවමත් සම්පූර්ණයෙන්ම සුව වී නොතිබුණද, මම රහසින්ම රෝහලෙන් පිටවීමට තීරණය කළෙමි.
මගේ ගමන් මල්ලත් රැගෙන, මධ්‍යස්ථානයේ බලධාරීන්ටද නොදන්වා මම නැවතත් පර්ත් දුම්රිය ස්ථානය වෙත පැමිණියෙමි. ගුවන් මගින් ගමන් කිරීමේදී තාත්තාට පහසුවෙන් මාගේ ගමන් මග සොයා ගැනීම වැලැක්වීම අවශ්‍ය වූ නිසාම මම මෙහි පැමිණි මග ඔස්සේම නැවත මෙල්බන් යාම මගේ අරමුණ වූ නමුත්, ගිනුම් පිරික්සීමේදී මගේ අතේ ඉතිරිව තිබුණේ ඉතාමත් සුළු මුදලක් පමණකි.

පර්ත් සිට මෙල්බන් දක්වා සෘජු පොදු දුම්රිය සේවාවක් නොමැති නිසාවෙන්, ඕස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධ මගී දුම්රිය සේවාවක් වන Indian Pacific දුම්රිය මගින් මට ඇවැසි ගමනාන්තයට සුකෝපභෝගී සංචාරක දුම්රියකින් ළඟාවිය හැකිය.

පර්ත් සිට ඇඩිලේඩ් දක්වා දුම්රියෙන් Nullarbor Plain හරහා දින 2ක් පමණ ගතවන ගමන අවසන් කොට, ඇඩිලේඩ් සිට මෙල්බන් දක්වා The Overland දුම්රියෙන් පැය 11කට ආසන්න කාලයක් ගමන් කිරීම සංචාරකයින් විසින් තොරාගන්නා සුන්දර ගමන් මාර්ගයක් වුවද,
සුකෝපභෝගී දුම්රිය ටිකට් පත් සඳහා යෙදවීමට මා සතු මුදල ප්‍රමාණවත් නොවීය. එනිසාවෙන් මම ගුවන් ටිකට්පතක් වෙන්කරගතිමි. එය මට තිබුණු පහසුම සහ ලාබදායීම ක්‍රමය විය.

ගමන පුරාවටම මම ජනේලයෙන් පිටත පාළු හිස් අහස දෙස බලා සිටියේ හිස් දෑසිනි. මගේ දෑත් නිරායාසයෙන්ම මගේ හිස් වූ කුස මත නතර විය.
‘දුවේ... මගේ රත්තරන් දෝණි... අම්මි එනවා ඔයාව බේරගන්න. ඔයාගේ තාත්තිව හම්බවෙලා මම හැම ඇත්තක්ම කියනවා. ඉනෝකා කියන යක්ෂනීටයි විපුල කියන අමනුස්සයාටයි මම ලේසියෙන් පැරදෙන්නේ නැහැ,’ මම දත්කුරු කාගනිමින් මගේ හිත දැඩි කරගත්තෙමි.
පැය ගණනාවක වෙහෙසකර ගමනකින් පසු ගුවන්යානය මෙල්බන් වෙත ළඟා විය. මම අපහසුවෙන් වුවද වේගයෙන් පියවර තබමින් අවිනාශ්ගේ කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ල වෙත පැමිණියෙමි. මාස අටකට පෙර මා සේවය කළ, මා අවිනාශ්ගේ ආදරය ලැබූ ඒ සුපුරුදු පරිශ්‍රය දකිද්දී මගේ හදවත මඳකට සසල විය.
මම පිළිගැනීමේ නිලධාරිනිය පසුකර කෙලින්ම අවිනාශ්ගේ ප්‍රධාන කැබිනය දෙසට පියවර තැබුවෙමි. මගේ කිලිටු වූ, වැහි බින්දු රැඳුණු ඇඳුම් සහ මැලවුණු මුහුණ දෙස කාර්යාලයේ සිටි පිරිස පුදුමයෙන් බලා සිටියහ. මම ඒ කිසිවක් නොතකා අවිනාශ්ගේ කාමරයේ දොර තල්ලු කර විවෘත කළෙමි.
“අවී...!”
නමුත් මගේ මුවින් ආ ඒ ආදරණීය හඬ කාමරය තුළම දියවී ගියේය. එහි අවිනාශ් සිටියේ නැත. ඔහුගේ අසුනේ වාඩි වී සිටියේ වෙනත් විදේශීය කළමනාකරුවෙකි.
“Excuse me, who are you? Mr. Avinash is no longer here,” ඔහු මදෙස බලා අමුතු ස්වරයකින් කීවේය.
මගේ මුළු ලෝකයම කඩා වැටුණාක් මෙන් මට දැනිණි. “No longer here? Where is he? Please tell me!” මම අසරණව ඇසුවෙමි.
ඒ සමඟම කැබිනය තුළට පැමිණි මයුර මාව දැක මහා පුදුමයට පත් විය.
“එමාෂා...! ඔයා... ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ? දෙවියනේ ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ?”
“මයුර... අනේ මට කියන්න... මිස්ටර් රෝයි... එ.. එයා කෝ...කොහේද? ම.. මගේ අවී කොහේද ඉන්නේ?”
‍මම මයුරගේ අතින් අල්ලාගෙන හඬමින් ඇසුවෙමි.
මයුරගේ මුහුණ මළානික විය.
“එමාෂා... අපි යමු එළියට... නිදහස් තැනකට ගිහින් නිදහසේ කතා කරමු....”
මයුර සහෝදරයෙකු සේම මාගේ අතින් අල්ලාගෙන කාර්යාලයෙන් පිටතට පැමිණියේය.
පළමු දිනයේ අප හමුවූ ආපන ශාලාවේ මේසකයත් මත දී මගේ මිට මෙලවුණු අත් ඔහුගේ උණුසුම් අත්ලමත‍ෙ තරපාගෙන මහුර හඬ අවදි කළේය.

“ඔයා හැමදේම දාලා ගියාට පස්සේ සර් ගොඩක් බිඳිලා හිටියේ. පුතාගේ ප්‍රශ්න හින්දයි, ඉනෝකා මැඩම් එක්ක ඇති වුණු ඩිවෝස් කේස් එක හින්දයි සර් කඩා වැටුණා.... එයාට මයිනර් හාට් ඇටෑක් එකකුත් ආවා එමාෂා... ඒ සේරමත් එක්ක සර් මේ මෙල්බන් ප්‍රොජෙක්ට් එක එයාගේ අයියා කවීන් සර්ට පවරලා... ලංකාවට ගියා. දැන් සර් ඉන්නේ ලංකාවේ.”
“ලංකාවේ...?” මගේ මුවින් කෙඳිරියක් පිට විය.
ඉනෝකා එදා කී වදන් මගේ මතකයට ආවේය, “අවිනාශ් දැන් ඔස්ට්‍රේලියාවේවත් නෑ කියලා තමුන් දන්නෑනේ...” ඇය ඇත්තක් පවසා ඇත! මගේ දියණියව පැහැරගත් ඔවුන් වහාම ලංකාව බලා පිටත්ව ගොස් ඇති බව මට දැන් පැහැදිලිවම වැටහුණි.
මම මයුර දෙස බලා මගේ කඳුළු පිසදා ගතිමි. මගේ දෑස්වල දැන් තිබුණේ බියක් නොව, මගේ දරුවා වෙනුවෙන් ඕනෑම මාරකයකට මුහුණ දීමට සූදානම් ගැහැනියකගේ දැඩි සෘජු බවකි.
“මයුර... මට ලංකාවට යන්න ඕනේ. මට දැන්ම ලංකාවට යන්න ඕනේ...!”
මගේ අතීතයේ සියලු අපායන් වළලා තිබූ ඒ ලංකා පොළොව වෙත, මගේ ජීවිතය උදුරාගත් මිනිසුන් ඉදිරියට නැවතත් පියවර තැබීමට මගේ දෛවය මට බල කර තිබුණි. මෙතැන් සිට ඇරඹෙන්නේ මගේ දරුවා වෙනුවෙන් මම ලේන්සු ගලවන, මගේම ජීවිතය පරදුවට තබා කරන මහා සටනක ආරම්භයයි.
ටැටූ 25 පරිච්ඡේදයෙන් හමුවෙමු...

Want your public figure to be the top-listed Public Figure in Gelioya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

No 51-A
Gelioya
20522