Lahiru DR

Lahiru DR

Share

Just think and be a new person to the world

15/10/2024

සීත දෙසැම්බරයේ අවසාන බාගයේ කළඑළි බසින්නට වෙර දරන යකඩ වෙස් මුහුණකින් වැසිගිය මාංශල සිතක අධ්‍යාත්මීය හැගීම් ගොන්න වූ යවෙස් ලූ සිත කාව්‍ය සංග්‍රහයට ඇතුළත් කරන්නට සිතූ වසර අටක් තුළ ලියැවුණු මගේ නිර්මාණවලින් තෝරාගත් කිහිපයක එකතුවේ එක් සටහනක් මෙලෙස සටහන් කරන්නෙමි.

අධිරාජ්‍යවාදීන්ගේ යටත්විජිතයක්ව පැවති මාතෘභූමියේ අධිරාජ්‍යවාදීන් විසින් අපටම උරුම කර දුන් මාහැගි සම්පතක් ලෙස එදා සිට අද දක්වා මධ්‍යම කදුකරය විරාජමානව බබළවන්නාවූ තේ දල්ල. ඒ අධිරාජ්‍යවාදීන් විසින්ම ගෙන්වා ගත් වහල් ජනතාවක අසීමාන්තික ලේ දහදිය කදුළු ඔස්සේ ලොව පුරා ව්‍යාප්ත විණි. නිදහසින් දශක හතක් ගෙවෙද්දිත් උන් වහල් බැම්මෙන් නිදහස්ද යන පැනය ඔබට මට තවමත් පැන නොනැගීම මානව ගුණය අප තුළ නැද්දෝ යැයි පසක් කරන බැව් කණගාටුවෙන් වුවද සිහිකළ යුතුමය.

හිදින්නට පැළක් නැති මිහිකතේ බිම් අගලක් නැති අවිහිංසක ජනකායක් අදටත් මේ මහ පොළොව හා හැප්පෙමින් ඔබට මට ඉගෙනගන්නට, බෙහෙත් ටික ගන්නට රටට ඩොලර් හොයන අපූරුව නම් ප්‍රශංසනීය ය. කදුකර අහිංසක දමිළ හදවත් වල මල් පූදින දිනෙක මාද ඔවුන්ගෙ සිනහව පැතූවෙකු ලෙසට නිරහංකාර සතුටක් විදින්නෙමි.
සිලොන් ටී

ඒරොප්පෙ මහ රජත්
හරිම සා පිපාසෙන්
වක්කරන් බොනවලු
ලංකාවෙ සිලොන් ටී

කළු කෙට්ටු අම්මලා
නංගිලා අක්කලා
කෙස් පැහුණු ආච්චිත්
තංගච්චියෙකි මෙහේ

උතුරෙ ඉද දකුණ තෙක්
තම්බිලා මල්ලිලා
අකුරු කියවන්නෙ උන්
කඩන තේ දලු මිලෙන්

දල්ල හරි ලාමකයි
කඩන අතැගිලි බරයි
දැල්ලකට අසුවෙලා
කරවෙලා සේ දැනෙයි

කොළඹ ලස්සන ඇගිලි
නෙක වර්ණ නිය රටා
එව්ව අවලස්සනයි
කහට පැහැයට ඔබේ

මැණිකෙ උඩරට යද්දි
උබෙ ලැයිම පසු කරන්
උජාරුව මා ද යමි
නුඹට ඔච්චම් කරන්

නමුදු

පිටි හුන්ඩුවක් අරන්
පොල් ටිකක් උලුප්පන්
තෙල් බිදක් එක් කරන්
වඩල පුච්චන රොටී

ලයිමෙ පොඩි හුන්ඩුවක
රජෙක් සේ මගෙ එවුන්
බොන්නෙ අර මහ රජා
බොන අනගි සිලොන් ටී

එහෙත්

වසර ගණනක් ගෙවිල
නුඹ තවම එකම තැන

නුඹ නොදැන නුඹ කඩන
නුඹෙ ළපටි දළු රොත්ත
කැඩෙන්නේ නුඹේ ඒ
අහිංසක සිහිනමද

සුදු ඇදපු උබෙ උන්ම
උබව රවටන කලෙක
නුඹේ ඒ දහදියට
මිලක් දෙන්නේ කොහොම

වෛද්‍ය ළහිරු ධනංජය රත්නායක

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo