Next page - Isuru prasanga

Next page - Isuru prasanga

Share

I am Isuru Prasanga, a Sri Lankan writer. My passion is to learn, explore, and share meaningful ideas with you.

25/06/2026

👉 ඇල්ගොරිදම් කියන්නේ ෆේස්බුක්, යූටියුබ්, ටික්ටෝක් ගැන කතා කරන කොට නිතර ඇහෙන වචනයක්. එතෙන්දි මේ වචනේ අලුතින් භාවිතයට ආපු තාක්ෂණික යෙදුමක් වගේ අදහසක් අපි ඕනෑම කෙනෙක් තුළ තිබෙන්න පුලුවන්.

👉 හැබැයි මේ වචනේ පිටිපස්සේ අවුරුදු 1200ක් විතර පැරණි අපූරු කතාවක් ඇති බව බොහෝ දෙනා දන්නේ නැහැ.

👉 මේක නිකම්ම නිකම් කුතුහලය දනවන කතාවක් විතරක් නෙමෙයි. මේක පිටුපස්සේ ලෝකයේ දැනුම ගැන අපි බොහෝ දෙනාට අමතක වූ දැවැන්ත කතාවක කොටසකුත් තිබෙනවා.

👉 මොකද මේ දැනුම ගැන කතා කරද්දි ලංකාවේ බොහෝ දෙනා හිතන විදිහට විද්‍යාව තාක්ෂණය ඇතුළු හැමදේම බටහිර රටවල නිර්මාණ. ලංකාවේ අපි බොහෝ දෙනා බටහිර නොවන රටවල් විද්‍යාව, ගණිතය වගේ විෂයන්වල වර්ධනයට දක්වපු දායකත්වය ගැන කතා කරන්නේ නෑ.

👉 එතෙන්දි මේ අරාබි ලෝකය කියලා කියන්නේ විද්‍යාවේ වර්ධනයට විශාල දායකත්වයක් දීපු කලාපයක්. විද්‍යාවේ වර්ධනයට ඉස්ලාම් විද්වතුන් දීපු දායකත්වය ගැන කතා කළොත් මාස ගාණක් කතා කරන්න දේවල් එතන තියනවා. මම මේ කියන්න යන කතාව, ඒකට අදාළ එක පුංචි උදාහරණයක් විතරයි.

👉 අදින් අවුරුදු 1200කට විතර කලින්, ඒ කියන්නේ ක්‍රි.ව. 780 - 850 අතර කාලේ පර්සියානු අධිරාජ්‍යයයේ, ඒ කියන්නේ වර්තමාන ඉරාකය අයිති ප්‍රදේශයේ එක්තරා විශිෂ්ට පුද්ගලයෙක් ජීවත් වුණා.

👉 ඔහුගේ නම අල් ක්වරිස්මි. සම්පූර්ණ නම මොහොම්මද් ඉබන් මුසා අල් ක්වරිස්මි (Muhammad ibn Musa al-Khwarizmi) ඔහු වර්තමාන උස්බෙකිස්ථානයට අයිති ප්‍රදේශයේ තමයි ඉපදුණේ.

👉 මේ අල්ක්වරිස්මි කියන්නේ ගණිතය, තාරකා විද්‍යාව හා භූගෝල විද්‍යාව කියන විෂයන්ට විශාල බලපෑමක් කළ වැදගත් පොත්පත් රචනා කළ විශිෂ්ට විද්වතෙක්.

👉 ඔහු ජීවත් වුනේ ඉස්ලාමයේ ස්වර්ණමය යුගය විදිහට සැලකෙන කාලයේ. මේ කාලය කියන්නේ ඉස්ලාම් ශිෂ්ටාචාරය තුළ විද්‍යාවේ සහ දැනුමේ දැවැන්ත ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇතිව තිබූ කාලයක්.

👉 මේ කාලය වන විට බැග්ඩෑඩ් නගරය කියන්නේ ලෝකයේ ඉතා වැදගත්ම සහ විශාලතම නගරයක්. අධ්‍යාපන හා වෙළෙද මධ්‍යස්ථානයක්. ඒ නගරයේ තමයි ඒ කාලය වන විට ලෝකයේ වැදගත්ම අධ්‍යාපන හා ශාස්ත්‍රීය මධ්‍යස්ථානයක් වගේම දැවැන්තම පුස්තකාලයක් ලෙස සැලකෙන හවුස් ඔෆ් විස්ඩම් කියන ඇකඩමිය පිහිටා තිබුණේ. අල් ක්වරිස්මි මේ ඇකඩමියේ ප්‍රධානියෙක්.

👉 අද ලෝකයේ හැමෝම භාවිතා කරන හින්දු අරාබි ඉලක්කම් පද්ධතිය, ඒ කියන්නේ අපි හැමෝම දන්න 0 සිට නමය දක්වා වූ ඉලක්කම් දහයකින් ලෝකයේ ඕනෑම සංඛ්‍යාවක් නිරූපණය කරන ක්‍රමය, ඒ වගේම දශම සංඛ්‍යා භාවිතය ඇතුළු ඉන්දියාවේ මුලින්ම ආරම්භ වූ මේ හින්දු අරාබි ඉලක්කම් ක්‍රමය වැඩි දියුණු කිරීමට සහ යුරෝපයට ඒ දැනුම ව්‍යාප්ත කිරීමට විශාල දායකත්වයක් දුන් කෙනෙක් තමයි අල් ක්වරිස්මි කියන්නේ.

👉 ඒ නිසා හින්දු අරාබි ඉලක්කම් ගැන කියද්දි කොහොමවත් ඔහුගේ නම අමතක කරන්න බෑ. ඒ වගේම ඔහු තමයි වීජ ගණිතයේ පියා විදිහට සැලකෙන්නේ. ඔහු තමයි අංක ගණිතයෙන් වෙනස් වන ගණිතයේ වෙනම ක්ෂේත්‍රයක් විදිහට වීජ ගණිතය කියන එක සූත්‍ර ගත කරන්නේ. එතකොට වීජ ගණිතය කියන එකට ඉංග්‍රීසියෙන් කියන ඇල්ජිබ්රා කියන වචනය හැදිලා තියෙන්නෙත් අල් ක්වරිස්මිගේ පොතක නමක් ඇසුරෙන්. මීට අමතරව ඔහු තාරකා විද්‍යාව හා භූගෝල විද්‍යාවටත් තමන්ගේ දායකත්වයක් දැක් වූ කෙනෙක්.

👉 ඔහු ලියපු පොත් ගැන කතා කළොත් ඔහු ගණිතය සම්බන්ධ පොත් දෙකක්, තාරකා විද්‍යාව හා දින දර්ශන සැකසීම පිළිබඳ පොතක්, වගේම භූගෝල විද්‍යාවට අදාළ පොතක් ලියූ බව සැලකෙනවා. මේ සමහර පොත් අද හොයාගන්න නෑ. ලියූ බවට වෙනත් සාක්ෂි තමයි තිබෙන්නේ.

👉 ඔහු ලියූ ගණිතය සම්බන්ධ පොත් දෙකෙන් කිතාබ් අල් මුක්තසාර් ෆි හිසාබ් අල් ජබ් වල් මුකාබලා (Kitab al-Mukhtasar fi Hisab al-Jabr wal-Muqabala) කියන පොතෙන් තමයි ඔහු වීජ ගණිතයට පදනම සපයන්නේ. මේකේ තියන අල් ජබ් කියන වචනයෙන් තමයි වීජ ගණිතය හඳුන්වන ඇල්ජිබ්රා කියන යෙදුම නිර්මාණය වී තිබෙන්නේ.

👉 මීළගට ඔහු භූගෝල විද්‍යාව ගැන ලියූ පොත ගැන යමක් කිව්වොත්, ඒක ක්ලෝඩියස් ටොලමිගේ භූගෝල විද්‍යාව කියන පොතේ කරුණු වැඩි දියුණු කරමින්, ලියූ පොතක්. මේ පොත හරහා ඔහු මධ්‍යධරණී මුහුදේ නිවැරදි දිග ප්‍රමාණය පෙන්වා දීමට මෙන්ම සමහර රාජ්‍යන්ගේ පිහිටීම නිවැරදිව සිතියම්ගත කිරීමට සමත් වී තිබෙනවා.

👉 ඒ වගේම ලෝක සිතියම් සකස් කිරීමට හා පෘතුවියේ පරිධිය සෙවීමේ ව්‍යාපෘතියකටත් ඔහු සම්බන්ධ වී තිබෙනවා. ඒ කියන්නේ ඔහුගේ තරම තේරුම් ගන්න මම මේ ඉතා කෙටියෙන් කියන කාරණා වුණත් ඇති.

👉 හැබැයි අපි තාමත් හිතාගෙන ඉන්නවා මේ ඉස්ලාම් ලෝකය ඇතුළු යුරෝපා නොවන රටවල්වල ජීවත් වුණු හැමෝම විද්‍යාව තාක්ෂණය නොදන්නා අශිෂ්ටයෝ කියලා. ඒ නිසාම තමයි මම මේ ගැන කතා කළේත්.

👉 ඉතින් මම අවසාන වශයෙන් එන්නම් ඇල්ගෝරිදම් කියන අද අපි හැමෝම දන්න වචනය හැදුනේ කොහොමද කියන එකට.

👉 ඒකට මුල් වී තිබෙන්නෙත් ඔහු ගණිතය සම්බන්ධව ලියපු අල් මුක්තසාර් ෆි හිසාබ් අල් ජබ් වල් මුකාබලා කියන පොත.

👉 මේ පොත 12 වන සියවසේ දී ලතින් භාෂාවට පරිවර්තනය වීමේදී එහි අල් ක්වරිස්මිගේ නම ඇල්ගොරිදම් විදිහට සඳහන් වී තිබුණා.

👉 මේ පොත ඉතාලි ස්පාඤ්ඤ වගේ විවිධ භාෂාවන්ට පරිවර්තනය වීමේදීත් ඇල්ගෝරිදම් කියන එකට තරමක් ආසන්න යෙදුම් තමයි භාවිත වී තිබෙන්නේ. ඒ යෙදුම ඇසුරෙන් තමයි අද අපි හැමෝම භාවිත කරන ඇල්ගෝරිදම් කියන වචනය කරළියට ආවේ. ඒකේ මූලය තියෙන්නේ එතන.

👉 ඉතින් මේක අලුත් වචනයක් කියලා හුගක් අය හිතුවාට අවුරුදු 1200ක් පරණ දැනුම පිළිබද සැගවුණු කතාවක් මේක ඇතුළේ තිබෙනවා. ඒක බටහිර ලෝකයෙන් පරිබාහිර අරාබි ලෝකයේ දැනුම පිළිබද කතාවක්.

ඉසුරු ප්‍රසංග

24/06/2026

මෙහි දැක්වෙන්නේ 1871 - 1890 අතර කාලයේ ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික Charles Thomas Scowen විසින් ලබාගත් සමාධි පිළිමයේ ඡායාරූපයකි. එකල ජීවත් වූ සිංහල තරුණයෙකු පිළිමය අසල වාඩි වී සිටින අතර මෙහි වම් පස ඇත්තේ චාල්ස් ස්කෝවන්ගේ ඡායාරූපයකි. අතීතයේ සමාධි පිළිමය සොයාගත් ස්ථානය වන අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයට අයත් මහමෙව්නා උයනේ මෙම පිළිමය සුරක්ෂිතව පිහිටුවා ඇති අතර, වර්තමානයේ මෙම පිළිම වහන්සේ අව් වැසි වලින් ආරක්ෂා කිරීම සඳහා ඒ වටා කොන්ක්‍රීට් ආවරණයක් ඉදිකර තිබේ.

23/06/2026

❤ ලෝකයේ වැඩියෙන්ම සිප ගත් තරුණිය
👉 Follow my page for more amazing educational content

21/06/2026

💥 සා.පෙළ සිංහල සාහිත්‍ය සඳහා සැකසූ සාහිත යතුර නිබන්ධන මාලාව
👉 දැන්ම ගෙන්වා ගැනීම සඳහා වට්ස්ඇප් බට්න් එක ක්ලික් කරන්න.
0775535121

17/06/2026

👉 විද්‍යාව තාක්ෂණය කොතරම් දියුණු වුවත් දරිද්‍රතාවය කියන්නේ වර්තමාන ලෝකයේ පවා සෑම රටකම පාහේ අඩුවැඩි වශයෙන් පවතින දැවෙන ප්‍රශ්නයක්.

👉 මෙහෙම තත්ත්වයක් තුළ සමස්ත ලෝක ගෝලයේම දුප්පත්කම හතරෙන් තුනකින් පහත දැමීමට දායක වූ එක් සුවිශේෂී රටක් ලෝකයේ තිබෙන බව අපි බොහෝ දෙනා නොදන්නා කාරණයක්.

👉 මේක මේ සියවස තුළ ලෝකයේ සිදු වූ මහා ඓශ්වර්යයක් ලෙස සැලකිය හැකි සිදුවීමක්. මෙහි පුදුමය තේරුම් ගැනීමට නම් දත්ත සහිතව මේ කාරණය ගැන විමසා බැලිය යුතුයි.

👉 මේ සුවිශේෂී මෙහෙයුම දියත් කළ රට තමයි චීනය.

👉 චීනය කියන්නේ අදින් අවුරුදු 46කට කලින් ඒ කියන්නේ 1980 තරම් මෑත කාලයේ පවා ජනගහනයෙන් සීයට 87ක් අන්ත දරිද්‍රතාවයෙන් පීඩා විඳපු රටක්. ඒ සීයට 87ක ජනතාවගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 2.15ට වඩා අඩුයි. ලෝකයේ සම්මත නිර්ණායක අනුව මේක අන්ත දරිද්‍රතා රේඛාවෙන් පහළ ආදායම් මට්ටමක්.

👉 හැබැයි අවුරුදු හතලිහක විතර කාලයක් ඇතුළත ඒ කියන්නේ 2021 විතර වෙද්දි මේ සමස්ත ජනගහනය දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ගෙනල්ලා ඒ රටේ දුප්පත්කම මුලුමනින්ම වගේ තුරන් කරන්න චීන රජය සමත් වෙනවා.

👉 එතකොට මේ දුප්පත්කමෙන් මුදා ගත්ත ජනගහනය සුළුපටු ප්‍රමාණයකුත් නෙමෙයි. ඒ ප්‍රමාණය ආසන්න වශයෙන් මිලියන 800ක්. කෝටිවලින් නම් කෝටි 80ක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය වගේ 40 ගුණයක්. කෙටියෙන්ම කිව්වොත් අවුරුදු හතලිහක් ඇතුළත මිලියන 800ක ජනගහනයක් දුප්පත්කමින් මුදාගන්න චීනය සමත් වෙනවා.

👉 වත්මන් ජනපති ෂී ජින් පින් මේ සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ අයෙක්. ඔහු තමයි 2021 පෙබරවාරි 25 වැනිදා මේ ජයග්‍රහණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ.

👉 මේ මෙහෙයුම කොයි තරම් ප්‍රබලද කිව්වොත් එක රටක් විසින් දියත් කළ මේ මෙහෙයුම නිසා සමස්ත ලෝක ගෝලයේම දුප්පත්කම හතරෙන් තුනක පමණ අගයකින් පහත වැටෙනවා.

👉 ඒ අනුව මේක තමයි මානව ඉතිහාසයේ දැවැන්තම දුප්පත්කම තුරන් කිරීමේ මෙහෙයුම විදිහට සැලකෙන්නේ.

👉 මේක හුදු චීන රජය විසින් කියන කතාවක් නෙමෙයි. ඒ වෙනුවට අද ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමූහය වගේ ගෝලීය ආයතන පවා විවෘතව මේ කාරණය පිළිගෙන තිබෙනවා. ඔවුන් මේ ගැන වාර්තා එකක් නෙමේ ගණනාවක් පළ කරලා තිබෙනවා.

👉 මේ ගැන ලියවුණු පොත්පත්, පර්යේෂණ වාර්තා, අධ්‍යයන වාර්තා ඉතාම සුලබ බව අන්තර්ජාලය සරලව පිරික්සා බැලුවොත් ඕනෑම අයෙකුට දැනගන්න පුළුවන්.

👉 මේ සම්බන්ධව ලෝක බැංකුව විසින් පළ කළ Four Decades of Poverty Reduction in China: Drivers, Insights for the World, and the Way Ahead නම් වූ පිටු 93කින් යුත් වාර්තාවේ මෙහෙම සඳහන් වී තිබෙනවා.

Over the past 40 years, the number of people in China with incomes below US$1.90 per day has fallen by close to 800 million, accounting for close to three-quarters of global poverty reduction since 1980. At China’s current poverty standards, the number of poor people in China fell by 770 million. By any measure, the speed and scale of China’s poverty reduction is historically unprecedented.

👉 ඒ අනුව සමස්ත ලෝකයේ දරිද්‍රතාව හතරෙන් තුනක පමණ විශාල අගයකින් පහත හෙලීමට චීන රජයේ වැඩපිළිවෙළ හේතු වූ බව මෙහි ලෝක බැංකුව පවා පැහැදිලිව පිළිගෙන තිබෙනවා. ඒ නිසා මෙය චීනය හෝ චීනයට පක්ෂ අය විසින් ගොතන සුරංගනා කතාවක් නොවෙයි.

👉 හැබැයි තාමත් ලංකාවේ බොහෝ දෙනාට සංවර්ධනය ගැන කතා කරද්දි මතක් වෙන්නේ සුදු හම ඇති මිනිස්සු ජීවත් වන ලෝකය පුරා මිනී කඳු ගොඩ ගැසූ යටත්විජිත ස්වාමිවරුන්ගේ රටවල් පමණයි. ඔවුන් සංවර්ධනයේ ආදර්ශ ගැන කතා කරන්න උදාහරණ සපයාගන්නේ ඒ රටවලින් විතරයි.

👉 ඔවුන් චීනය ගැන දන්නේ මැතිවරණ නැති, ප්‍රජාතන්තවාදය නැති, නිදහස නැති කරුමක්කාර රටක් කියන බටහිර ලෝකය අපට සකසා දුන් සුපුරුදු කතාව පමණයි.

👉 චීනයේ ආර්ථික දියුණුව ගැන කතා කරද්දී අපේ රටේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ නව ලිබරල් ආර්ථිකය, විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා චීනය දියුණු වූවා වැනි හිස් ප්‍රලාප පමණයි. මේවායේ පදනම් විරහිත බව ගැන අවශ්‍ය නම් වෙනම කතා කරන්න පුළුවන්.

👉 දුප්පත්කම කියන එක අද සංවර්ධිත රටවල් ඇතුළු ලෝකය පුරාම තිබෙන ප්‍රශ්නයක්. අමෙරිකාව වැනි ලෝකයේ ඉහළම ආර්ථිකයක් හිමි රට තුළ පවා දරිද්‍රතාව බරපතළ ගැටලුවක් විදිහට පවතිනවා.

👉 ඒ කියන්නේ මේ යටත්විජිතකරණය හරහා ලෝකය පුරා ඇති රාජ්‍යයන් කොල්ලකමින් සංවර්ධිත යැයි කියන තත්ත්වයට පත් වූ රටවලටවත් කරන්න බැරි වුණ දෙයක් තමයි චීනය මේ කරලා තිබෙන්නේ.

👉 වසර පනහකට අඩු කෙටි කාලයක් තුළ ස්වාධීනව නැගී සිටි රටක් විදිහට ඔවුන් ලබාගත් මේ ජයග්‍රහණය ඉතා සුවිශේෂී එකක්. හැබැයි ඔවුන්ට මේ වෙනුවෙන් සෑහෙන මහන්සි වෙන්න දැවැන්ත ඉලක්ක සැලසුම් එක්ක වැඩ කරන්න සිද්ධ වුණා. ඔවුන් ඒක කළේ ලංකාවේ කරනවා වගේ දුප්පතුන්ට ජනසවිය, සමෘද්ධිය දීමෙන් නොවෙයි. හැබැයි ඒ මොනවා වුණත් මේ ජයග්‍රහණයට පැහැදිලි හේතුවක් වුණේ චීනයේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තිය.

👉 අද ලංකාවේ බොහෝ දෙනා හිතන දෙයක් තමයි චීනයේ තිබෙන්නේ සම්පූර්ණ නිදහස් ලිබරල් ධනවාදී ආර්ථිකයක් කියන එක. හැබැයි ඇත්තටම චීනයේ ක්‍රියාත්මක වන ක්‍රමය පූර්ණ ලිබරල් ආර්ථිකයක්වත්, පැරණි සෝවියට් දේශයේ තිබුණ විදිහේ පූර්ණ සමාජවාදී ආර්ථිකයක්වත් නෙමෙයි.

👉 ඒ දෙකම වෙනුවට ඔවුන් තොරාගෙන තිබෙන්නේ ඒ දෙකේම ලක්ෂණ මිශ්‍ර වූ සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ වෙළෙඳපොළ ආර්ථිකයක්. ඔවුන් ඒකට චීන ලක්ෂණ සහිත සමාජවාදය කියලා නමක් දී තිබෙනවා.

👉 මේ ක්‍රමය මොන වගේද කියන එක තරමක් සංකීර්ණ සහ වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැබැයි ශ්‍රී ලංකාවේ අපි හිතන විදිහේ පූර්ණ ලිබරල් ආර්ථිකයක් චීනයේ තිබුණා නම් ඔවුන්ට කවදාවත් පොදු ජනතාවගේ සුබ සිද්ධිය පදනම් කරගත් මෙවැනි ඉලක්කවලට අධික වේගයෙන් ගමන් කරන්න ලැබෙන්නේ නෑ. ලිබරල් ආර්ථිකයෙන් සිදු වන්නේ දුප්පතුන් තව තව දුප්පත් වෙද්දී පෝසතුන් තව තව පෝසත් වීම පමණයි.

👉 ඉතින් ඒ ගැන විස්තර හොයන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ චීන ආර්ථික මොඩලය ලිබරල් ආර්ථිකයෙන් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන ලෝකයේ පිළිගත් විද්වතුන්, ආර්ථික විශ්ලේෂකයන් විසින් කරන කරුණු දැක්වීම් ඕනෑ තරම් අන්තර්ජාලයේ තිබෙනවා. අවශ්‍ය කෙනෙකුට ඒවා බලන්න පුලුවන්.

👉 ශ්‍රී ලංකාව වැනි අයිඑම්එෆ් ප්‍රතිපත්ති පමණක් වන්දනා කරමින් නන්නත්තාර වූ රටවලට මේවායෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයක් ඇති බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුයි.

ඉසුරු ප්‍රසංග

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Near The Temple, Induragara
Colombo
11264