PublicFinance.LK

PublicFinance.LK

Share

දුර්මත - විනිවිද - දකින්න

20/03/2026

ජනාධිපතිතුමා, උත්තරේ මෙන්න!

"ජනාධිපතිතුමා නිලධාරීන්ට කිව්වලු ඉන්ධන සහනාධාරයක් ගැන සොයා බලන්න" පුතා පත්තර කොළය දිගේ ඇඟිල්ල ගෙනියමින් උස් හඬින් කියා සිටියේය. "හොඳ ආරංචියක් නෙවෙයිද?"

අසල්වැසියා සහ මම සිටියේ ඒ අසළ වාඩිගෙනය. ඔහු සෙමින් ඔලුව වැනුවේ ය.

“ඒක දැනටමත් හොයාගෙන නෙව තියෙන්නේ?, අද උදේ ගියා හොඳ වැඩසටහනක් ටීවී එකේ. ඒකෙ කිව්වා”

“ඉතින්?” මම ඇසුවෙමි.

“කියපු හැටියට නම් අපිට පෙට්‍රල්, ඩීසල් මිල තීරණය කරලා දෙන මිල සූත්‍රය ඇතුලෙමයි උත්තරේ තියෙන්නේ”

කෝපි කෝප්ප දෙකක් රැගත් බිරිඳ සාලයෙන් මතුවිය.

“අර මොකක්ද, මොකක්ද ඒවයේ එකතුවක් කියලා ඒ දවස්වල කීවේ ඒක ද? ඇමතිලා දෙන්නෙක් බොඩ් උස්සන් හිටියත් මතකයි.”

කෝප්ප අතට දෙන ගමන් ඇය කීවා ය.

“ආන්න හරි. ඔය ඉන්ධන මිල සූත්‍රය ඇතුලේ තියෙනවා ලු පරිපාලන මිල කියලා කොටසක්. ඒක දැනට ලෝක තෙල් මිල වෙනස් වෙන සැරේට වෙනස් වෙනවාලු. එහෙම නැතිව ඒකට ස්ථීර අගයක් දාලා තියන්න පුලුවන් ලු. මොකද, තෙල් මිල වැඩි වුනා කියලා සංස්ථාවේ අයට ගෙවන පඩි වැඩි වෙන්නේ නැහැනේ?, ඉතින් පරිපාලන මිල එක ගාණක තියාගෙන යන්න පුලුවන්. ඒක අපිට සහනයක්”

අසල්වැසියා කියාගෙන ගියේය.

“ඒ ඇති ද?” මම ඇසීමි.

“ඉන්නකෝ. තව ඔය සූත්‍රය ඇතුලේ තියෙනවාලු තෙල් මෙහෙට ගොඩබානකොට වදින VAT සහ SSCL බදු. තෙල් මිල වැඩි නම්, මේ බදුවලින් ලැබෙන ආදායමත් වැඩියි. මේ වැඩි ආදායම ජනතාවට හරවලා දෙන්න පුලුවන්ලු - සහනාධාරයක් හැටියට”

“ඕවට IMF එක ඉඩ දෙන්නේ නෑ නේද?” කතාව අසාගෙන සිටි පුතාගෙන් පැනයකි.

“නැතිලු. ඒ අය පවා මේ වගේ සහනාධාර දෙන එක අනුමත කරනවාලු”

අසල්වැසියා කීවේ ආඩම්බරයෙනි.

“දැන් ඕකද විසඳුම?” මට ඉවසුම් නැත.

“මොකද හදිස්සිය? නෑ! තව තියෙනවා!. දැන් තෙල් මිල ඉහළ යනකොට මොකද වෙන්නේ? අපි කන, බොන, අදින, යන-එන මේ ඔක්කොගෙම මිල වැඩි වෙනවා නේ? ආන්න ඒවටත් වැදෙනවා VAT සහ SSCL බදු. දැන් මිල වැඩි හින්දා මේ බදු වලින් ලැබෙනවා වැඩිපුර බදු ආදායමක්. ඒකත් හරවලා දෙනවාලු අපිට”

“මරුනේ. ඔය 3නම එකතු කළොත් අපිට මාර සහනයක් නේ ලැබෙන්නේ?” ඒ පුතා ය.

“ඔව්!. ඔය 3නම එන වෙන විදිහට මිල සූත්‍රය වෙනස් කළොත් හොයාගන්න ඉන්න ආදායම ඒ විදිහටම ගන්න ගමන්, තෙල් මිල උඩ යන එක අපිට වැඩි බරක් නොකර තියන්නත් ආණ්ඩුවට පුලුවන්ලු”

අසල්වාසියා කෝපි කෝප්පය හිස් කළේ ය.

“දැන් ඉතින් අලුතින් හොයන්න දෙයක් නැහැනේ? ඔය තියෙන්නේ විසඳුම?” හිස් කළ කෝප්පය බිරිඳට දෙන ගමන් මම කීවෙමි.

“විසඳුම් නම් ඉතින් කීයක් තිබ්බත්, ලොක්කෝ ඒවා පිළිගන්න එපැයි?”

අස්කරගෙන යන ගමන් ඇය කියාගෙන ගියා ය.

18/03/2026

තෙල් ගහන පෝලිමේ දිග අඩු කරමු!

අපේ අසල්වැසියා ෂෙඩ් එකෙන් ආවේ ඉරිදා රෑ 12ට ෂෙඩ් එකට ගොස්, ලැබුනු කෝටාව ටැංකියට දමාගෙන උදෑසන ය.

“ගිය සතියේ සදුදා, අගහරුවාදා - ආයෙ බදාදා ගිහිල්ලත් බැරිවුනා කරගන්න. ඒ නිසා අලුත් වෙනවා කියපු දවසෙම ගියා. හෙන පෝළිමක් තිබ්බේ. ඉදලා, ඉදලා කොහොම හරි දාගෙන ආවා..” ඔහු හතිදාගෙන කියාගෙන ගියේ ය.

“හේ හේ, ඕක මැනේජ්මන්ට් එකේ අවුලක් නේ?” යි පුතා ඒ ඇසූ ගමන් කීවේ ය. “ඒ ගොල්ලෝ කෝටා එක ඉරිදා අලුත් කරනවා කිව්වා, ඔක්කොම එදාට ෂෙඩ් එකට ගියා, ඉතින් හිර වෙනවා”

"ඒකට ලේසි ක්‍රමයක් නැද්ද?" මම ඔහුගෙන් ඇසුවෙමි.

“නැත්තෙ මොකද?” කී පුතා ඔහුගේ ලැප්ටොප් එක රැගෙන ආවේ ය. “ලියාපදිංචි නොම්බරේ අන්තිම ඉලක්කම මාසෙ දිනේට ගලපමු. අංකෙ 2345 නම්, තෙල් ගන්න යන්න පුලුවන් වෙන්නේ - 05, 15, 25 කියන දවස්වල. 3456 නම් - 06, 16, 26 දවස්වල. ඔක්කොම එක සැරේ ගිහිල්ලා ෂෙඩ් එකේ ඉන්න ඕන නැහැ”

“ඒකත් එක්ක, ඔහු දිගටම කීවේ ය. “දැන් කෝටාව අලුත් කරන්නේ සතියකට සැරයයි නේ?, ඒ වෙනුවට දවස් 10කට සැරයක් අලුත් කළොත් අර ඉස්සෙල්ලා කියපු නොම්බර කතාවත් එක්ක ෂෙඩ් එකට යන්න වෙන්නේ මාසෙකට තුන් සැරය යි”

“හතර සැරයක් යන්න පුලුවන් එකේ, තුන් සැරයක් යද්දි තෙල් ලැබෙන්නේ අඩුවෙන් නේ?” මගේ බිරිදට ප්‍රශ්නය කි.

“ඒකට..’ පුතා කීවේ ය. “සතියකට ලීටර 15ක් දෙන එක වෙනස් කරනවා දවස් 10කට ලීටර් 20ක් දෙන්න. එත්කොට හරි නේ?, අඩුවෙන් ගිහිල්ලා - වැඩියෙන් ගහගෙනත් එන්න පුලුවන්”

“හරි. 20ම ගැහුවේ නැත්තන්?” ඒ සැරේ මගේ අසල්වැසියාට ප්‍රශ්නයකි.

“ඒකටත් විසදුමක් තියෙනවා’ පුතා ටක් ගාලා කීවේ ය. “එහෙම ඉතුරු වෙලා තියෙනව නම් ඉස්සරහට තියෙන වාර 2ක් ඇතුළත ඒ ඉතුරු ටිකත් ගන්න ඉඩ දෙනවා. එතකොට කාටවත් අඩුවෙන්වත්, වැඩියෙන්වත් ලැබෙන්නේ නැහැ”

“ඔහොම කරන්න පුලුවන් නම්, ඇයි කරන්නේ නැත්තේ?” අසල්වැසියා ඇසුවේ ය.

“ප්‍රශ්නෙ මේකනේ” මම කට දැමී මි. “ඔය ෂෙඩ් ඉස්සරහ පෝලිම්වල ඉන්නේ ප්‍රශ්නෙ දන්න ජනතාවනේ?, නිලධාරීන් නෙවේ නේ?”

අසල්වැසියා ලොකු හුස්මක් ගත්තේය.

“එහෙනම් ජනතාව ගෙදර තියල නිලධාරීන් පාරට ගත්තනම් හරිනේ?” යි කී ඔහු පුතාගෙන් විස්තර ටිකත් ඉල්ලාගෙන නිවසට ගියේ ය.

11/03/2026

🔴 ඉන්ධන මිලේ වැඩිවීම - රැවුලයි - කැඳයි දෙකම බේරාගන්න හැටි!

ඇමරිකා - ඉරාන යුද්දයත් එක්ක සිදුවුනු ගෝලීය බොරතෙල් මිල වෙනස්වීම එක්ක ලංකාවේ ඉන්ධන මිලත් ඉහළ ගියා.

බොරතෙල් ගෙන්වීමේ මිල ආවරණය කරලා දෙන අපේ ඉන්ධන මිල සූත්‍රය අනුවම ඉන්ධන මිල තීරණය කරනව ද?

නැත්නම් එහෙම නොකර, ජනතාවට සහනයක් දෙනව ද? කියන්නේ මෙහෙම අවස්ථාවක එන ප්‍රශ්න දෙකක්.

ගොඩක් අය මේ දෙකෙන් එකක් තෝරගන්න වෙනවා කිව්වත්, ඇත්ත කතාව නම් මේ දෙකම කරන්න පුලුවන් කියන එක.

කොහොමද කරන්නේ? ඒකට කරන්න දේවල් දෙකක් තියෙනවා.

1️⃣ දැනට අපි භාවිතා කරන ඉන්ධන මිල සූත්‍රය, ලෝක බොරතෙල් මිල ඉහළ යන වෙලාවට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර ඛනිජ තෙල් සංස්ථාවට ආදායම හොයලා දෙනවා. ඒක නිවැරදි කළ යුතු වෙනවා.

2️⃣ ඉන්ධන මිල ඉහළ යනකොට රජයට ආර්ථිකයේ අනෙක් ක්ෂේත්‍රවලින් වැඩි බදු ආදායමක් ලැබෙනවා. ඒ ආදායම් සැළකිල්ලට ගත්තහම, ඉන්ධන මිල සූත්‍රය ඇතුලේ තියෙන බදු අඩුකරලා ජනතාවට සහනයක් දෙන්න පුලුවන්. එහෙම දෙන සහනයකින් රජයේ අයවැය ඉලක්කවලට බාධාවක් වෙන්නේ නැහැ.

මේ දෙකේ එකතුව ඉන්ධන මිල ඉහළ යාමක කම්පනය දරාගන්න පුලුවන්, සහනයක් දුන්නත් රජයේ අයවැය ඉලක්කවලට බාධාවක් නැතිව යන්න පුලුවන්, විසදුමක්.

මේ ගැන වැඩි විස්තර පර්යේෂණ වාර්තාවක් හරහා ඉදිරියේ දී, ප්‍රකාශයට පත්කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය සැළසුම් කර තිබෙනවා.

මේ විසදුම ලංකාවට විතරක් නෙවෙයි. හදිසියේ සිදුවෙන ඉන්ධන මිලේ වෙනස්වීම් නිසා පොදුවේ කම්පනයට ලක්වෙන ලෝකයේ අනෙක් සියලුම රටවල්වලටත් වැදගත් වේවි.

සටහන - වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල්.

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


No. 05, Police Park Place, Colombo 05
Colombo
00500