Misled Wanderer
An attempt to share my thoughts and observations that would otherwise disappear within my mind.
23/03/2025
සිය දිවි සැදුමට
අන් දිවි රැකුමට
බුදුදස් කුළයේ
වත්මන් පුරුකක්
සුරතේ රැඳි
කොළ නැති පොතේ
පාවෙන පිටු මත
සිහිය හොවා
තබමින් පියවර
ඒ පැත්තට මේ පැත්තට
සඳළුතල සක්මන
ඉහ මුදුනේ පහන් තරුව
මුවා වෙනකන් අර කන්දට
මුහුණතේ කටු
රවුම් ගනන් ගසන තෙක්
වෙනදාට
සොයයි විඳි පා පහස
මෙතුවක් පිරිමැදී සැනැහුනු
අද හිස්ව පාළුවෙන්
සඳළුතලය
බණ්ඩෙ, උඹට සුබ ගමන්!
උඹ අද උදෙන්ම ගිහින්
ඒ බව ඇහුනම හිටි හැටියෙන්
මොහොතකට උනා හිත අතරමං
එකට හිටියෙ උඹයි මායි
කනිටු පන්තිවල විතරයි
එහෙම වෙලත් මෙහෙම දවසක
හිත හිස්වෙන හැටි
අදහන්නත් අමාරුයි
අන්තිමට දැක්ක දවසෙත්
මට වැඩියම කිට්ටු නැතත්
මූණත් පිරිල ඉතිරීගෙන
උඹේ ඇසුත් වහගෙන ගිය
හිනහව තාම මතකයි
මෝරපු නැති හිත්වල
පැළපදියං උනු ආදරේ
කල්පෙකට පස්සෙත්
දැනෙන හැටි පුදුමයි
🩶
27/10/2024
තැඩියස් මුණගැසී
හිතවතිය සඳැසී
සිත් අහස පැහැසී
පෑ මන්දහාසී
පළමුකොට මල් වැසී
කෙමෙන් විඳි පහසී
හදින් හද පැසසී
එබිකම් කෙරූයෙන් පසී
හදිසියේම තිගැසී
සිහිවූයෙන් තතු නොනිසී
අන් සිහින කඳු ගැසී
සිරිතට පසුබසින සුදසී
සිත් අතරමංවූ සසී
අතැර සිත් අරුමැසී
නොතකා කුණාටු මහ වැසී
සොයා යයි නීරස ගිම්රැසී
04/11/2023
යුවතියක හඬ වැටුණි සවනට
රැඳුනි සිත ඈ මැවූ හැඩයට
හැරී හෙලුවෙමි දෙනෙත ඇදෙසට
මැවුනු සිතියම වර්ණ නැඟුමට
පිපුණු මුව කිරි කවඩි දෙපෙළකි
පිපෙන විට වත පිරෙන කොපුලකි
සැලෙන ගැස්සෙන නීල වරලකි
දෙබැම සරසන සිහින් තිලකෙකි
වුවන සරසන සිනහ පියකරු
ඇඟළු කුර්තාවකි රතට හුරු
ළෙලෙන බඳ මන බඳියි නිරතුරු
විඳිමි ඇය දුව ඇවිද යන'යුරු
එහැම පරදන දිලෙන දෙනයන
බැල්ම දුටුවන් නිවී සැනහෙන
කතා දහසකි මුවින් නොකියන
සිතෙයි විඳිනට කිමිද එනුවන
කැඩුණු හෙළ කෙළිලොල් වදන් සර
කැකිරි පළමින් කී කතා'තර
සවන රැඳි ඈ කී දෙයකි බර
සොඳුරු මතකය යළි අවදි කල
නාඹ කල මා මිතුරු ඒ ළඳ
ඉපිළවිය සිට මා ළඟින් හිඳ
කලකි දැකගෙන ඒ සිනා සඳ
මෙකල කැළුමන් හෙළනු කොයිබද?
#රුව #මතක
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy