Social Studies Circle
The aim of this organization is to study the society in a comprehensive way.
21/01/2026
LENIN 🚩
14/06/2025
ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 02
1977 මැයි 27 පැවැත්වුණ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය 5/6 ක පාර්ලිමේන්තු බලයක් සහිතව ආණ්ඩුව පිහිට වූ අතර අගමැති ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා පත් විය. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවෘත ආර්ථික මොඩලයෙන් විවෘත ආර්ථිකයට පරිවර්තනය කිරීම ආරම්භ කරන ලද අතර රාජ්‍ය ව්‍යවසාය අණපණ කරමින් පෞද්ගලික ව්‍යවසාය ප්‍රවර්ධන කිරීමටත් රජය රටේ ආර්ථිකයට මැදිහත් වීම වළක්වමින් ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් ආරම්භ කළේය. සුබසාධනවාදී ආර්ථික ක්‍රමය ක්‍රමයෙන් අහෝසි කරමින් ධනවාදී ආර්ථික මොඩලයේම නව ලිබරල් ප්‍රතිසංස්කරණ සිදු කිරීම දක්නට ලැබුණි. ඒ ඔස්සේ රජයේ කර්මාන්ත, අධ්‍යාපන, සෞඛ්‍යය ආදී සියලු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය සදහා අවශ්‍ය මර්දනකාරී ව්‍යවස්ථාමය බලයක් ස්ථාපිත කර ගැනීම පිණිස පාර්ලිමේන්තුවාදී 1972 පළමු ජනරජ ආණ්ඩු ක්‍රමය අහෝසි කරමින් ඒකාධිපති බලතල සහිත විධායක ජනාධිපතිවරයෙකු නිර්මාණ කළ 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා සම්මත කර ගත්තේය. දැඩි ඇමරිකානු හිතවාදියෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා තම අභිප්‍රායන් මුදුන් පත් කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාද අකුළමින් ජාතිවාදය අවුස්සමින් කම්කරු ජනතාව මර්දනය කරමින් ඉතාමත් විනාශකාරී පාලනයක් රැගෙන ගියේය.
1976 වන තෙක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය හෙබවූයේ එවකට පැවති සමගි පෙරමුණු ආණ්ඩුවේ ද කොටස්කරුවෙකු වී සිටි කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය වූ නමුත් 1976 රෝහණ වීරසූරිය ඝාතනය සහ පේරාදෙණිය මණ්ඩපාධිපතිට එරෙහි සිසු සේවක අරගලය කෙරෙහි දැක්වූ ඇල්මැරුණු ක්‍රියාකාරීත්වය සහ විරෝධතා සමනය කිරීමට උත්සාහ කිරීමෙන් පසු පොදු සිසුන්ගෙන් ප්‍රතික්ෂේප වෙමින් ලංකා ජාතික ශිෂ්‍ය සංගමයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය 1976න් පසු අහිමි වී ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය හිමි විය. 1978 පෙබරවාරි 04 එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම්ව සිටිය දී පෙබරවාරි 02 දින පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සහ විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර සහෝදරයාගේ නායකත්වයෙන් ඊට එරෙහි විරෝධතා පා ගමනක් සරසවියේ සිට ගලහ හන්දිය දක්වා ගමන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සමවාදී ශිෂ්‍ය පෙරමුණේ සිසුන් කිහිප දෙනෙක් මග හරස් කර එයට බාධා කළ අතර විරෝධතාකරුවන් ඔවුන් එළවා දැමීය. එය පදනම් කරගෙන ශාන්ත බණ්ඩාර, ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති චන්ද්‍රපාල, සරත්, බෝධි, රිචඩ්, සුනිල් ශාන්ත, සුනිල් රන්තප්‍රිය යන සිසුන් 08 දෙනාගේ ශිෂ්‍යභාවය අහෝසි කළේය. ඉන් පසුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ බලය සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් අත්පත් කරගත්තේය. ශාන්ත බණ්ඩාර සහෝදරයා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු බවට පත්විය. එහි පළමු සටන ලෙස අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙමින් තිබූ හාල්පොත 1978 දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් කපා දැමීමට එරෙහි අරගලය සිදු කරන ලදී. මෙම සටන පරාජයට පත්විය. 1980 ජූලි මහා කම්කරු වැඩවර්ජනයක් ආරම්භ වූ අතර ආණ්ඩුව විසින් එය මර්දනය කර කම්කරු ව්‍යාපාරය පොඩි පට්ටම් කරන ලදී. සේවකයන් ලක්ෂයකට පමණ රැකියා අහිමි විය. මේ අතර 1981 දී ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ අරමුණෙන් " අධ්‍යාපන ධවල පත්‍රිකාව" ගෙන ආවේය. ඒ වන විට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ නායකත්වය යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විශ්වවිද්‍යාල, පාසල්,කාර්මික විද්‍යාල, පිරිවෙන් ඇතුළු සමස්ත පොදු ජනතාව සංවිධානය කරගත් දැවැන්ත බහුජන ව්‍යාපාරයක් බවට පත්වී තිබුණි. ආණ්ඩුව විසින් අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලියේ තීරණාත්මක පියවරක් වූ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ද 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝදන පනත යටතේ 1981දි ගැසට් නිවේදනයක් හරහා අරඹන ලදී. ආරම්භයේ පටන් මිට එරෙහිව අරගල පැනනැගුණි.
1982 ජනවාරි 20 දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තුව ( වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලය ) වටලමින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන ලදී. අශ්වාරෝහක පොලීසිය යොදවා ආණ්ඩුව මෙයට පහර දුන් අතර ඉන්පසු ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඉහළ යන්නට විය. එවක අධ්‍යාපන ඇමති වූයේ හිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වූ වර්තමාන එක්සත් ජාතික පක්ෂය නායක රනිල් වික්‍රමසිංහ මහතා ය. අවසානයේ අධ්‍යාපන ධවල පත්‍රිකාව ආණ්ඩුව විසින් හකුළා ගත්තේය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මෙහෙයවීම මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකත්වයෙන් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ලබා ගත් දැවැන්ත ජයග්‍රහණයක් ලෙස මෙම සටන හැඳින්විය හැකිය.
1982 දී පැවති පේරාදෙණිය සරසවියේ ශිෂ්‍ය සභා නිලවරණයෙන් සමාජවාදී ශිෂ්‍ය සංගමය ජයග්‍රහණය ලැබීය. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිය පිළිගත් ස්වාධීන ශිෂ්‍ය සංගමය 1982 කොළඹ සරසවියේ ශිෂ්‍ය සංගම් නිලවරණයෙන් උපරිම ජයග්‍රහණයක් ලබා ගත්තේය. නමුත් ඊට එරෙහි සමාජවාදී ශිෂ්‍ය සංගමය ඇතුළු ශිෂ්‍ය සංවිධාන එක් වී ශිෂ්‍ය සභාවේ බලය අත්පත් කර ගත්තේය. සභාපති ජනතා විමුක්ති පෙරමුණ, ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ භාණ්ඩාගාරික එක්සත් ජාතික පක්ෂය ලෙස ඔවුන් තනතුරු බෙදා ගත්තේය. යාපනය සරසවියේ අප්පුතුරෙයි විමලරාජා සිසුවා වසරකට වැඩි කාලයක් ත්‍රස්තවාදී චෝදනා යටතේ ආණ්ඩුව විසින් රඳවාගෙන සිටින ලද අතර ඊට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය රට පුරා සරසවිවල පොදු විරෝධයක් ගෙන යාමට 1982 මැයි 12 තීරණයක් ගෙන තබුණි. නමුත් ඊට එරෙහිව යමින් මැයි 14 ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සංකේත පන්ති වර්ජනයක් කැදවන ලදී. එයට සහභාගී වූයේ යාපනය, මඩකලපුව සරසවිවල සිසුන් සහ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පමණි.1983 වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් 63 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබුණි. එයින් බහුතරය සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන් විය. ආණ්ඩුවට දැඩි ශිෂ්‍ය මර්දනයක් අවශ්‍ය වී ඇති බව මෙයින් පෙනී ගිය අතර 1983 දෙසැම්බර් 27 වන දින පේරාදෙණිය සරසවිය තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් පොලීසියක් පිහිටුවන ලදී.
පද්මසිරි අබේසේකර ඝාතනය
මෙය ලෝකයේ විශ්වවිද්‍යාලයක් පොලීසියක් පිහිට වූ පළමු අවස්ථාව විය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට දැඩිව විරුද්ධ වූ අතර දිගින් දිගටම විරෝධතා දක්වන්නට විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වූ මහාචාර්ය බී. එල්. පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කළේ මෙමගින් සිසුන්ට බාහිර කරදරවලින් තොරව අධ්‍යයන කටයුතු කරගෙන යාමට හැකියාව ලැබෙන බවයි. සිසු විරෝධතා සමනය කිරීමේ අදහසින් ආණ්ඩුව විසින් මෙය හැඳින්වූයේ සුහද පොලීසියක් ලෙසයි. 1984 ජූනි 19 වැනි දින වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න ඇතුළු සිසුන් 11 දෙනෙකු පොලීසිය ඉදිරිපිටින් ගමන් කරන විට ලයනල් අලහකෝන් සිසුවාගේ අත පොලීසියේ ජනේලයක වැදීමේ සිද්ධියක් පදනම් කරගෙන යම් කාලගෝට්ටියක් ඇති විය. එහි දී පොලීස් නිලධාරීන් විසින් සිසුන්ට පහර දෙන ලදී. ඒ සමග දැඩි ශිෂ්‍ය නොසන්සුන්තාවයක් ඇති වූ අතර පසුව එය සරසවිය පුරා පැතිර ගියේය. පොලීසිය සිසුන්ට පහර දුන් අතර රාත්‍රී 10ට පමණ වෙඩි ප්‍රහාරයක් ද එල්ල කළේය. එහි දී වෙඩි වැදී පේරාදෙණිය රෝහලේ වාට්ටු අංක 10ට ඇතුළ් කළ වෛද්‍ය පීඨයේ දෙවන වසර සිසුවෙකු වූ හේවා බුලත්කන්දගේ පද්මසිරි අබේසේකර සිසුවා ජූනි 20 පාන්දර 1.30ට පමණ මිය ගියේය. ඔහුගේ මරණ පරීක්ෂණය මහාචාර්ය චන්ද්‍ර අමරසේකර විසින් ද මහේස්ත්‍රාත් විභාගය මහනුවර අතිරේක දිසා විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර මහතා විසින් ද පවත්වන ලද අතර පද්මසිරි අබේසේකර සහෝදරයාගේ සහෝදරයන් වූ එච්. පී. ඒ. නයනානන්ද සහ එච්. පී. ඒ. මහින්ද යන දෙදෙනා විසින් හදුනාගනු ලැබීය. පද්මසිරි අබේසේකර ඝාතනය දෙවන සරසවි සිසු ඝාතනය විය. ඔහුගේ මරණයෙන් පසු පද්මසිරි අබේසේකර සිසුවා අනුස්මරණය සදහා ජූනි 19 දින සැමරුම් වැඩසටහන් පේරාදෙණිය සරසවිය තුළ අවිධිමත් ලෙස 1986 - 1990 පමණ වන තෙක් ක්‍රියාත්මක විය. පද්මසිරි අබේසේකර සහෝදරයා අනුස්මරණ කිරීම සඳහා පේරාදෙණිය සරසවියේ ඉදිකළ ස්මාරකය 1990 ජනවාරි මාසයේ දී අතුරු හමුදා කණ්ඩායම් විසින් කඩා බිඳ දමන ලදී.
රෝහණ රත්නායක ඝාතනය
පද්මසිරි අබේසේකර සහෝදරයා ඝාතනයට එරෙහිව රටපුරා විශ්වවිද්‍යාල, පාසල්, කාර්මික විද්‍යාල ආදී අධ්‍යාපන ආයතන තුළ සිසුන් උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කළ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මෙම විරෝධතා දියත් කළේය. ඒ අනුව 1984 ජූනි 21 දින කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පැවැත්වූ උද්ඝෝෂණයට පොලීසිය වෙඩි තැබූ අතර එහි දී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ රෝහණ රත්නායක සිසුවා ඝාතනයට ලක් විය. මෙය තෙවන සරසවි සිසු ඝාතනයයි. අවසානයේ රටපුරා ඇතිවූ සිසු විරෝධය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටා තිබූ පොලීසිය ඉවත් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සිදු විය. මෙය ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාර ඉතිහාසය තුළ ජීවිත පරිත්‍යාගයෙන් ලබා ගත් ජයග්‍රහණයකි. ඒ වන විට එම පොලීසියේ කාර්යභාර නිලධාරියා වූයේ පොලීස් පරීක්ෂක කේ.ඩී. කරුණාදාස මහතායි. රෝහණ රත්නායක සහෝදරයා ඝාතනය වීමෙන් පසු ජූනි 21 දින කොළඹ විශ්වවිද්‍යාලයේ ද රෝහණ රත්නායක සැමරුම් වැඩසටහන් ආරම්භ විය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉදි කර ඇති රෝහණ රත්නායක ස්මාරකය අසල මෙම සමරු වැඩසටහන් සංවිධානය වූ අතර 1986 දී පමණ සිසු සැමරුම් සඳහා පොදු දිනයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන තෙක් රෝහණ රත්නායක සැමරුම ද අවිධිමත් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ද දක්නට ලැබුණි. වර්තමානය වන විට ජුනි 20 සමරන ශිෂ්‍ය වීර දින සැමරුම කොළඹ විශ්වවිද්‍යාලයේ ජුනි 21 දින සැමරීම මෑත බොහෝ විට මෑත දී ද දක්නට ලැබුණි.
සිසු සැමරුම් සඳහා පොදු දිනයක් තීරණය වීම
1986 නොවැම්බර් 12 කොළඹ මහජන පුස්තකාලයේ වීරසූරිය සැමරුමක් සිදු කෙරෙණි. ඡයාරූප ප්‍රදර්ශනයක් හා සමරු ගී වැඩසටහනක් ද පැවැත්විය. මෙහි වැඩ කටයුතු සඳහා කොළඹ සරසවියට ගිය කැළණිය සරසවියේ මච්චාගම සේනාරත්න සිසුවාට ස්වාධීන ශිෂ්‍ය සංගමය විසින් පහර දෙන ලදී. ඔහු නිදහස් කර ගැනීමට ආචාර්යවරුන්ට පවා මැදිහත් වීමට සිදු වූ අතර ඊට පිළිතුරක් ලෙස සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ රත්නපුර උදය කුමාර තේනුවර සිසුවා ශ්‍රී ජයවර්ධනපුර සරසවිය ඉදිරිපිටින් යන අවස්ථාවක විමලධර්ම ශාලාවට ගෙන ගොස් පහර දෙන ලදී. 1977 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පැවති නොවැම්බර් 12 රෝහණ වීරසූරිය සමරුව සහ අවිධිමත් ලෙස පැවති 1984 පද්මසිරි අබේසේකර සහෝදරයා ඝාතනයෙන් පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ වූ ජූනි 19 පද්මසිරි අබේසේකර සැමරුම මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ද අවිධිමත් ලෙස පැවති ජූනි 21රෝහණ රත්නායක සැමරුමත් යන 03ම 1986 වසරේ සිට එක්දිනයක පැවැත්වීමට සමාජවාදී ශිෂ්‍ය සංගමය තීරණය කළේය. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් 1986 සිට නොවැම්බර් 12 දින එම සැමරුම සඳහා වෙන් කළේය.
සමාජ අධ්‍යයන කවය
2025.06.14
12/06/2025
ශිෂ්‍ය වීර දිනයේ ඉතිහාසය - ලිපිය 01
1970 දී පැවැත්වූ මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය එක්ව "ජාතික සමගි පෙරමුණ" පිහිටුවා ගත් අතර පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවීමට ජාතික සමගි පෙරමුණට හැකි විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අගමැතිවරිය ලෙස තේරී පත් විය. සමගි පෙරමුණ ආණ්ඩුව බලයට පත් වී කෙටි කලකින් 1970 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද 1971 අරගලය පැන නැගුණි. ආණ්ඩුව විසින් එය මර්දනය කරන ලද අතර ඒ වන විට බොහෝ ශිෂ්‍ය සංගම්වල බලය හිමිව තිබුණේ සමගි පෙරමුණු ආණ්ඩුව නියෝජනය කළ ලංකා සමසමාජ පක්ෂයේ "ලංකා ශිෂ්‍ය සම්මේලනය" ට, කොමියුනිස්ට් පක්ෂයේ "ලංකා ජාතික ශිෂ්‍ය සංගමය" ට, සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "නිදහස් ශිෂ්‍ය පෙරමුණ" ටයි. එක්සත් ජාතික පක්ෂයේ "සමවාදී ශිෂ්‍ය පෙරමුණ" ද ක්‍රියාත්මක වුණි. 1971 අරගලය වන විට විද්‍යෝදය ( ශ්‍රී ජයවර්ධනපුර ) විශ්වවිද්‍යාලයේ "සමාජවාදී සංගමය" ලෙසත් පේරාදෙණිය සරසවියේ (ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ) "දේශප්‍රේමී ශිෂ්‍ය සංගමය" ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංගමය ක්‍රියාත්මක වූ අතර 1971 අරගලයේ දී දැඩි මර්දනයට ලක් වන්නට ඔවුන්ට සිදු විය. 1975 වන විට පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ බලය හිමිව තිබුණේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයටයි. ඒ වන විට 1971 අරගලයට සම්බන්ධ වී සිරගතව සිට පැමිණි සිසුන් සහ ප්‍රගතිශීලී සිසුන් එක්ව "සමාජ අධ්‍යයන කවය" පේරාදෙණිය සරසවියේ ආරම්භ කර තිබුණි. 1976 වන විට ඇති වූ මතභේද හේතුකොට ගෙන ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය.
මණ්ඩපාධිපති විතානගේට එරෙහි සිසු - සේවක අරගලය
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසින් ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය මණ්ඩපයේ භු ගර්භ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ විතානගේ මණ්ඩපාධිපති ලෙස පත් කරන ලද අතර ඔහුට ඇය සමග කිට්ටු නෑ කමක් ද තිබුණි. විතානගේ දැඩි නීති රීති පනවමින් සිසුන් සහ සේවකයන් මර්දනය කිරීම ආරම්භ කළේය. සේවකයෙකුට දඩ ගැසීමක් පදනම් කරගෙන මණ්ඩපාධිපති විරෝධී සේවක අරගලයක් ආරම්භ විය. සේවකයන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් විය. එයට එරෙහිව සේවක වැඩවර්ජනයක් ආරම්භ වූ අතර ඊට සහය දීමට සිසුන් ද ඉදිරිපත් විය. ඉන් පසු විතානගේ පේරාදෙණිය සරසවිය වසා දැමුවේය. මර්දනය හමුවේ සේවක වැඩවර්ජනය අඛණ්ඩ එකක් බවට පත් විය. නමුත් මෙහිදී මහා ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීත්වයේ පසුබෑමක් දක්නට ලැබුණ අතර සමාජ අධ්‍යයන කවය ඉදිරිපෙළ ක්‍රියාකාරීව සිසුන්ට නායකත්වය දෙන්නට විය. අවසානයේ සරසවිය වසා දැමූවත් සරසවියෙන් ඉවත් නොවී රැදී සිටීමට සමාජ අධ්‍යයන කවය ප්‍රමුඛ සිසුන් විසින් තීරණය කරන ලදී. මෙලෙස අරගලය ඉදිරියට යන විට සේවක වර්ජනය නිසා ආහාර ලබා ගැනීමේ ගැටලු ඇති වූ අතර සරසවිය වැසීම හා විවෘත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබිණ. විටෙක විතානගේ නේවාසික ශාලාවලට පොලීසිය යොදවා කෑම බෙදීම නතර කිරීමට ද උත්සාහ කළේය. මේ අතර කාන්තා නේවාසිකාගාරවල සිසුවියන් සමග සහයෝගයෙන් රැදී සිටි නේවාසිකාගාර නොමැති සිසුවියන් ඇල්ලීමට පාන්දර 2ට පමණ සරසවි ආරක්ෂක අංශ මැදිහත් කර තිබුණි. ඊට සිසුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. කෑම බෙදීමේ කටයුතු සදහා යොදවා තිබුණේ ද ප්‍රතිගාමී ආචාර්යවරු වූ අතර සංඝමිත්තා ශාලාවේ කෑම බෙදන විට ආචාර්යවරයෙකුට කෑම එකකින් පහර දීමක් සිදුවිය. මෙම සිදුවීම පදනම් කරගෙන සරසවිය නැවත වසා දැමූ අතර 1976 නොවැම්බර් 11 වන දා සිසුන් සනාතන මන්දිරය වට කර විතානගේ සිරකර ගත් අතර මාරුවෙන් මාරුවට සනාතන මන්දිරය පරිශ්‍රයේ රැදී සිටියහ.
රෝහණ වීරසූරිය ඝාතනය
1976 නොවැම්බර් 12 දින උදේ 6.00 - 6.30 අතර අලුත් සිසු කණ්ඩායමක් සනාතන මන්දිරයට පැමිණෙමින් සිටින අවස්ථාවේ දී පොලීසිය ඔවුන්ට වෙඩි තැබීය. එහි දී වෙඩි වැදී ශාස්ත්‍ර පීඨයේ රෝහණ වීරසූරිය සිසුවා මිය ගියේය. විජය රත්නායක සිසුවාට සහ යූ.ජී.එන්. තිලකරත්න සේවක මහතාට ද වෙඩි වැදී තුවාල සිදු විය. පොලීසිය විසින් විතානගේ මුදා ගන්නා ලද අතර ඒත් සමග සිසු විරෝධතා ඇවිලී ගියේය. පළමු සරසවි සිසු ඝාතනය මෙය විය. මහා ශිෂ්‍ය සංගමයේ බලය හෙබවූ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය මෙම විරෝධතා දිය කර හැරීමට හා සමනය කිරීමට උත්සාහ ගත් අතර ඒ හේතුවෙන් ඔවුන් පොදු සිසුන් අතර අප්‍රසාදයට ලක් වෙමින් තිබුණි.
රෝහණ වීරසූරිය සැමරුම
1977 අප්‍රේල් 05 ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්විය. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ "සමාජවාදී ශිෂ්‍ය සංගමය" වැඩි ඡන්ද 700කින් පමණ ශාස්ත්‍ර පීඨය ජයග්‍රහණය කළේය. ඔවුන් විද්‍යා පීඨය සදහා ස්වාධීනව ඉදිරිපත් වූ අතර විද්‍යා පීඨය ද ජයග්‍රහණය කළේය. විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස තේරී පත් වූ ශාන්ත බණ්ඩාර සහෝදරයා මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ලෙස තේරී පත් විය. ඉන් පසු නොවැම්බර් 12 දින රෝහණ වීරසූරිය සහෝදරයා සැමරීම ආරම්භ වූ අතර 1977 සිට 1983 පමණ දක්වා පේරාදෙණිය සරසවියේ දී එය සිදු කෙරිණි. පසුකාලයේ දී එනම් 1986 දී පමණ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ තීරණයක් මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් එවකට පැවති සියලු සිසු සැමරුම් සදහා පොදු දිනයක් ලෙස නොවැම්බර් 12 දිනය ප්‍රකාශයට පත් කළේය. 1977 නොවැම්බර් 12 දින පැවති පළමු රෝහණ වීරසූරිය සැමරුමට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක සහෝදරවරු පුෂ්පෝපහාර දැක්වීම සදහා සහභාගී වූහ. වර්තමානය වන විට ජුනි 20 ශිෂ්‍ය වීර දිනය සැමරුව ද මේ වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී නොවැම්බර් 12 දින මහා ශිෂ්‍ය සංගමය විසින් රෝහණ වීරසූරිය සමරුව සංවිධානය කරනු ලබයි. ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉදිකර ඇති රෝහණ වීරසූරිය ස්මාරකය අභියස දීය. 1977 දී නිර්මාණ කළ රෝහණ වීරසූරිය ස්මාරකයට මුල්ගල තබන ලද්දේ වෙඩි වැදී තුවාල වුණ යූ. ජී. එන්. තිලකරත්න සේවක මහතා සහ විජය රත්නායක සිසුවා විසිනි. ඒ අනුව රෝහණ වීරසූරිය සැමරුම ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ පළමු සිසු සැමරුම ලෙස හදුනාගත හැකිය.
සමාජ අධ්‍යයන කවය
2025.06.12
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
University Of Peradeniya, Peradeniya
Kandy