Cups O Tea
Blogger | Food photographer | Story Writer
11/06/2025
මම කිව්වා
අහන්න කෙනෙක් හිටියෙ නෑ
මම කියන එක නැවැත්තුවා
එතකොට මං වෙනස් වෙලාලු .අසවි..
06/09/2024
මම මේ දවස්වල ගිලිල ඉන්න එක පොතක් තියෙනවා. නැවත නැවතත් පිටු පෙරලන්න හිතෙන එක පොතක් තියෙනවා. ඒ Robin Sharma ගෙ " Life lessons from the monk who sold his ferrari".ඒ පොතේ එක තැනක් තියෙනවා අපිට අපි ඇතුලෙන් කනගාටුවට පත් වෙන විදියේ සංසිද්ධින් මගෑරල දාන්නෙ කොහොමද කියල.
අපි මේ ගෙවන්නෙ අපේ ජීවිතේ දෙවන දශකයේ දෙවන භාගය. ඒ කියන්නෙ විසි ගනන් වල අග හරිය. අපි මේ වෙද්දි අපෙ රැකියාව ගැන , වැඩිදුර අධ්‍යාපනය ගැන,ලගා කරගත යුතු සිහින, ගෙවිය යුතු බිල්පත් , වටපිටාව, සමාජය ,සමාජ තත්ත්වය ,පවුලේ බැදීමි ඔය එකී මෙකී නොකී අටෝරක් හේතු හොයාගෙන දවසේ වැඩි හරියක් කනස්සල්ලෙන් ගෙවනවා.
මේ අපි කනගාටු වෙන දේවල් අපිට විතරක් නෙමෙයි ,ලෝකෙ බහුතරයක් මිනිස්සුන්ට ඉස්සර ඉදන්ම තිබුන ප්‍රශ්න.එක දවසක් Mark Twain interview එකකදි කියල තිබුනා "මගෙ ජීවිතේ ගොඩක් කරදර මං හිතින් මවාගත්තු ඒවා හැබැයි ඒවගෙන් ටිකයි මට ඇත්තටම සිද්ධ වුනේ".කියල.
ඒ කතාව දිහා බලද්දී, ඇත්තටම අපිත් එහෙමනෙ. හෙට මොනව වෙයිද? ලියපු විභාගය පාස් වෙයිද? අර වාහනේ ගන්න පුලුවන් වෙයිද? මට ජොබ් එකේ මේ achievement එක ලගාකරගන්න පුලුවන් වෙයිද?මේ වගේ ගොඩක් දේවල් ගැන අපි ඕනවටත් වැඩිය වද වෙලා තියෙනවා. රැකියාවෙන් ගෙදර ගිහිනුත් අපි කරන්නෙ රැකියා ස්ථානයේ ගැටලුකාරී දේවල් සිතමින් පීඩාවට පත් වෙන එක නම් ,අපි අපෙ ජීවිතයට තියෙන සීමිත විවේකය තුලත් සිත් පීඩාවෙන් කරදරයෙන් වගේම කනගාටුවෙන් ඉන්න කරන choice එකක්.ඉතින් එහෙම ජීවත් වෙන එක කොච්චර අමාරුද.මානසික නිදහස නැතිවුන ගමන් අපි පීඩනයට පත්වෙනව .කඩාවැටෙනව.හැමදේම එපා වෙනවා. ඒ නිසා අනාගතෙයේදී එන්න තියෙන වෙන්න තියෙන කරදර ගැන කනගාටු නොවී මේ මොහොතේ ජීවත් වෙමු.
ඉතින් The monk who sold his ferrari තුලින් මං ඉගෙන ගත්ත කාරනය නම් ,තරගකාරී ලෝකෙක ජීවත් වෙන මිනිස්සු විදියට ,කනගාටු වෙන්න ජීවිතය ගැන නමුත් ඔබේ සම්පූර්ණ විවේක කාලයම එයට යොදවන්න එපා. විවේකයෙන් කොටසක් ජීවිතය ගැන වදවීමට වෙන් කරල ඉතුරු වැඩි කොටස ඇවිදීමට, කියවීමට, මිනිසුන් මුනගැසීමට මෙන්ම ඔබ ආසා කරන ඕනෑම දෙයක් කිරීමට යොදවා ගන්න.මේ ජීවිතේ කනගාටුවෙන් ගෙවා දැමීමට තරම් දීර්ඝ නැත.
ආදරෙන් අසවි
ප:ලි: ගොඩ දවසකින් පේජ් එක පැත්තෙ ආවෙ.හැමදාම කෑමත් එක්ක කතා ලියපු මට අද හිතුනා මගෙ අනිත් ආසම වැඩෙන් මං ඉගෙනගත්තු පුංචි දේවල් ටිකක් බෙදාගන්න.කෑම එක්ක ආදරේ බෙදාගත්තා වගේ පොත් එක්ක ලියවෙන් කතාවලටත් ආදරේ කරයි කියල බලාපොරොත්තු වෙනව. 🩷
29/08/2024
උණු කෝපි එකකට ඇවිලෙන හිත් නිවන්න පුලුවන් කියල දන්නවද ලමයෝ !.....අසවි......
10/05/2024
සමහර දවස් තියෙනවා අපිට ඕන කරන්නෙ හරි සරල දේවල්. සංකීර්ණ දේවල් වලට ආස කරපු අපිට එකම එක දවසක් එනව අපි ගෙඩනැගුනු තැන් ආය හොයන් එන්න. හරියට මේ වැනිලා කේක් කෑල්ලයි කහට ගොඩක් දාලා හදපු අම්මගෙ කිරි තේ එකයි වගේ.
ජීවිතේ එක කාලෙකදි අපිට ඕනෙ වෙනව සරල අපිව හොයාගන්න. එක එක තැන් වල ඇවිදල රස රස කෑම කාපු අපිට ඕන වෙනව ගෙදර ගලේ අඹරපු රතු පාට සම්බෝලෙකුත් එක්ක දුම් දාන කැකුලු බත් කුස්සියෙ බංකුවට වෙලා කන්න.ලස්සන ලස්සන ඇදුම් ඇදපු අපිට ඕනෙ වෙනව කර වටේ පුස් කාපු ටී ශර්ට් එක්කුයි මැහුම් ගැලවුන කලිසමකුයි ඇදගෙන ඔහේ දවස ගෙවන්න. ලස්සන එක එක මාදිලියෙ සපත්තු දාපු අපිට ඕන වෙනව එකම එක දවසක් සෙරෙප්පු නැතුව ඉන්න.යාලුවොත් එක්ක ගත කරපු දවස් ,ගියපු ට්‍රිප් ඒ හැමදේම පැත්තකට දාලා අම්මා තාත්ත එක්ක ගෙදර ඉන්න.එයාලගෙ පරණ කාලෙ කතා අහන් ඉන්න.
ටීවි සීරීස් රොමෑන්ටික් කතා අස්සෙ ගෙවුන කාලෙ අතෑරල පරණ ග්‍රාමීය කතා යූටියුබ් එකේ හොය හොය බලන්න පටන් ගන්න. සෝශල් මීඩියා ටිකකට අතෑරල ගස් හුස්ම ගන්න හැටි බලන් ඉන්න. මං ආසයි සරල වෙන්න.
සංකීර්ණ ලෝකෙට අපි මවාපාන චරිතෙ හරි බරයි , රළුයි,මහන්සියි.ඇතුලෙ ඉන්න ලස්සන සරල මනුස්සයව හොයාගන්න එයාට පරණ තාලෙ බටර් කේක් කෑල්ලක් දෙන්න.
සංකීර්ණ ලෝකෙක ජීවත් වෙන්න ගිහින් අපිට අපෙ ඇත්ත සරල ජීවිතේ මගාරින්න වෙලාද?අපි අපිවම ආයමත් අතීතෙට ගිහින් හොයාගමු.
..................අසවිගේ රසකතා...................
Vanilla butter cake❤️ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
ආදරෙන් අසවි
10/04/2024
කිරි රස මතක !
මට චීස් එක්ක තියෙන මතක පස්සෙ ගියොත් මට අල්ලගන්න පුළුවන් දුරම මතකෙ තියෙන්නෙ අනූව දශකෙ අගබාගෙ වගේම දෙදාස් ගනන්වල මුල් කාලෙ.මං ඒ කාලෙ ඇච්චා.දම්පාට පොඩි ජංගියක් ඇදගෙන උඩට මොකුත් නැතුව දගලපු ගෙදරම හුරතලේ.මාත් එක්ක ගෙදරම කෙල්ලො තුනක්.මං ඉතින් පොඩි එකා .අක්කලට වඩා ගොඩක් බාල හින්දා තාත්ත ආදරේම මට.
අපිට ඒ කාලෙ ලීබඩු සාප්පුවක් තිබුනා.තාත්ත මොරටු යනව ශොප් එකට බඩු ගේන්න.ගෙදරින් යන්නෙ පාන්දර .එතකොට මං නිදි.තාත්ත එන්නෙත් ගොඩක් රෑ වෙලා එතකොටත් මං නිදි.මං එතකොට මොන්ටිසෝරි යන්න කලින් හිටිය ඇට්ටර කාලෙ හිටියෙ.මං ඉතින් තාත්තට ඕඩර් දෙනව , මොරටු ගිහිඋන් එද්දි අරව ඕනෙ මේව ඕනෙ .අරකෙන් ගේද්දි මෙච්චරක් ගේන්න අනිකෙන් ගේද්දි මෙච්චරක් ගේන්න කියල.
අපෙ තාත්තට පුරුද්දක් තිබුනා මොරටු ගිහින් එද්දි අපෙ කොල පාට ලොකු ලොරියෙ ඉස්සරහ සීට් එක පිරෙන්න අන්නාසි අරන් එන්න.ඒත් එක්කම අපි තුන්දෙනාට හැපි කව් චීස් වීල් තුනයි අම්මට කැන්ඩොස් චොක්ලට් බෝල් පැකට් එකයි ගේන්න.ඔන්න දැන් ඉතින් මට හැමදාම දෙන දේට වඩා වෙනස් දෙයක් ඕනෙ උනා." තාත්තෙ මට හැපි කව් එපා , අර ටින් එකේ දාලා එන චීස් ඕනෙ ,පෙති පෙති කපල කන ඒවා ඕනෙ" ( ඔය ඉල්ලන්නෙ craft processed cheese එක) මං ඉතින් සැර දාලම ඕඩරේ කිව්ව.මං පාන්දර එක දෙක වෙනකනුත් ඇහැරන් ඉන්නව තාත්ත චීස් ගේනකන්.අන්තිමට තාත්ත ගේට්ටුවෙන් ඇතුලට ලොරිය දැම්ම විතරයි මං ගිහින් බඩගාලා ලොරියට නැග්ගා.තාත්තා සුදු පාට ශොපින් බෑග් එකක් දාපු පොඩි සැමන් ටින් සයිස් එකේ ටින් එකක් දුන්නා.දීලා හරි බරට මගෙ ඔලුව අතගෑවා.මං ඉතින් ආසාවෙන් බලන් හිටියට හැපි කව් තරම් ඒව රස නෑ .processed cheese නිකන් කද්දි රස මොන යෝදයටවැයි ඉතින් 😂.
මට තේරෙන වයසට ආවම අම්ම කිව්වෙ තාත්ත මොරටුවේ ඉදන් නුවරට එනකල් කඩවල් ගොඩක නවත්තල අහනවලු අර චීස් වර්ගෙ තියෙනවද කිය කිය.කොහොම හරි ගෙදර එද්දි ඒකක් හොයාගෙනලු ආවෙ.ඒ කතාව එක්ක මං චීස් වලට තිබුනු ආසවටත් වඩා තාත්ත මට තියෙන ආදරේට ආසවෙන්න ගත්තා.
චීස් එක්ක මගෙ මතක රවුම් ගහන්නෙම තාත්ත එක්ක.මාසෙට බඩු ගේන්න තොග කඩේට යන්නෙ මං තාත්ත එක්ක.බඩු ගන්නකන් මට කන්න චීස් වීල් එකක් අරන් දෙනව.ඒකෙ කෑලි අටයි , අපෙ ගෙදර පහයි.ඉතින් වැඩි තුන මට😁.මං තාත්ත එක්ක කඩේ යන්න හරි කැමතියි ඒ මොකද කිව්වොත් කඩේ වැඩ කරන අයියල මට බඩු කිරනකන් කන්න කියල මොන මොනව හරි දෙනවනෙ කන්න.ඊටත් වැඩිය ආස ගෙදර ගිහින් අක්කලට ඉරිසියා හිතෙන්න මගෙ චීස් වීල් එක පෙන්නන්න.
දැන් අවුරුදු ගානක් ගෙවිල ගිහින් .තාත්ත දැන් මොරටු යන්නෙ නෑ.එයා අසනීපෙන් .ගමේ අපි බඩු ගත්ත තොග කඩෙත් නෑ.දැන් මට මං ආසම චීස් පෙට්ටි පිටින් ගන්න පුළුවන් .ඒත් මට තාත්ත මොරටු ගිහින් එද්දි ගෙනාපුව තරම් රසට දැනෙන් නෑ .තාත්ත තොග කඩෙන් අරන් දුන්නු ඒ චීස් කෑල්ලට වගේ ආස හිතෙන්නෙත් නෑ .හැබැයි මං චීස් අල්ලන හැම වෙලේම මතක් වෙන්නෙ මගෙ තාත්ත මට ආදරේ තරම.ඉතින් මේ රසම රස චීස් කේක් කෑල්ල දූලට පිරෙන්න ආදරේ දෙන හැබැයි වචනෙකින්වත් ඒක නොකියන ආදරේකාර තාත්තලට.
............අසවිගේ රසකතා...................
Cheese cake❤️ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
ආදරෙන් අසවි
23/03/2024
Pie එක්ක මට තියෙන්නෙ ආත්මගත බැදීමක්.
පුංචි කාලෙ මං ජීවත් උනේ මවාගත්ත ලෝකෙක.දගමල්ල එක්ක කොටු කොටු සාය ඇදල වයිටලීෆ් ඉස්කෝලේ කොරිඩෝ දිගේ ඇවිදගෙන ගියපු මට , ඒ පුංචි කෙල්ල ඒ ඉස්කෝල වල තිබුනු කෑම බීම වලට ආසකෙරෙව්වා.
පැට් ඉසබෙල් එක්ක ,බිත්ති දිගේ අයිවි වැවුනු සෙන්ට් ක්ලෙයාර් ඉස්කෝලේ ගියපු මම ප්‍රාර්ථනා කරේ අනේ මටත් එහෙම තැනකට යන්න පුළුවන් නං.ඒ වගේ ඩෝම් එකක ඉදන් ඉගෙන ගන්න පුළුවන් නං .හැබැයි ඉතින් ඊටත් වැඩිය හිතුවෙ එයාලගෙ ඩයිනින් එකේ වගේ සීතල දවසට චොක්ලට් ගොඩක් දාපු හොට් චොක්ලට් එක්ක කන්න ක්‍රීම් බේරෙන pie එකක් තිබ්බනම් කියල.
පන් පසිදුවො එක්ක රහස් හොයන්න යන්න කලින් උගුර සීතල වෙලා යන ලෙමනේඩ් එකක් හරි ජින්ජර් බියර් එකක් හරි බීලා ෆැනී නැන්දා හදල දෙන රෝස්ට් කරපු කුකුල් මස් , තදට තම්බපු බිත්තර , හැම් දාපු සැන්ඩ්විච් වගේම අතුරුපසට දෙන ක්‍රීම් pie දාලා හදල දෙන කෑම බාස්කට් එක අරන් රහස් හොයන්න ඇවිදින්න යන්න අදටත් මං ආසයි.
ඊට ටිකක් ලොකු උනායින් පස්සෙ මං ලෝරායි රෝසුයි එක්ක රොකීරිජ් ෆාම් ඒකේ දර පෝරණුවෙ බේක් වුනු රසම රස වට්ටක්කා pie, දුම් දාන බතල pie වගේ තාත්තව පුදුම කරවන්න හදපු ඇපල් pie වලත් රස බැලුවා.ඒ වගේම නගරෙ තිබුනු pie සාද වලට මමත් රෝස් එක්ක pie එකක් හැදුවා පෝල්ට දෙන්න.
මගෙ කතා ලෝකෙ තිබුන හැම pie එකකම තිබ්බෙ ආදරේ.ඉතින් pie කියන්නෙ ආදරේ පිරුණු කෑමක් කියල මගේ පොත් ලෝකෙ හිටපු පුංචි පුංචි ගෑනු ලමයි පිරිමි ලමයි මට කියල දුන්නා.ඉතින් මං වැරදිද, කෑම කියන්නෙම ආදරේ කියන්න පුළුවන් තවත් විදියක්.
............අසවිගේ රසකතා...................
Dessert Pie ❤️ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
ආදරෙන් අසවි
06/03/2024
මේක ඉරිතැලුනු කතාවක් .
අපේ ජීවිතෙත් හරියට ඉරිතැලුනු බ්‍ර්වුනි කෑල්ලක් වගේ.රැකියාවෙ පීඩනය, පවුලෙ බලාපොරොත්තු , ආර්ථික ප්‍රශ්න, අපෙ social role එක, බිදවැටුනු හීන, මානසික කඩාවැටීම් , ඔලුවෙ තියෙන දරාගන්න බැරි පීඩනය . එකී මෙකී නොකී හැම නෙගටිව් energy එකක් එක්කම survive වෙන අපි ඉරිතැලුනු බ්‍ර්වුනි කෑල්ලක්ම තමා.කොච්චර ඉරිතැලුනත්. හදවතේ ආදරේ පිරුනු සෞම්‍ය හදවතක් තියෙන අපි හීනි දේටත් කදුලු පුරවන තෙත් හිත් තියෙන ලස්සන මිනිස්සු.
බාහිරින් එන පීඩනයට දුප් යන්න කියල එලවලා ......තියෙන්නෙ කදුලද, ඒකෙන් සතුටු වෙන්න උගන්නපු පොලියානා කොච්චර දුකින් පීඩනයකින් ඉන්න ඇතිද.
සින්ඩරෙල්ලා ,බෙලා ,ස්නෝව් වයිට්, රපුන්සල් ඒ හැමෝටම අවසානෙදි prince charming එක්ක happily ever after කතාවක් ලැබුන එකට සතුටු උනු අපිට එක දෙයක් අමතක වෙලා ,
ඒ අපිට ජීවිතේ වෙන්න වෙන්නෙ brave එකේ රජකුමාරි මෙරීඩා වගේ දුකහිතුනත් සතුටු හිතුනත් තනි හිතුනත් , ඒ මොන හැගීම තිබුනත් තමන් කලයුතුව තියෙන දේවල් තමන් විසින්ම කලයුතුයි කියන හැගීමත් එක්ක. මුලාන් වගේ තමන්ගෙ පවුල වෙනුවෙන් හරිදේට හිටගන්න ඕනෙ කියන වීරත්වයේ හැගීමත් එක්ක. මොආනා වගේ දීර්ඝ මුහුදු(හීන) අරමුණක් ඇතුව හෝ නැතුව තරනය කරගන්න තියෙන අධිෂ්ඨානයත් එක්ක ,හිතේ තියෙන ආසාවල් තමන් විසින්ම හැබෑකරගන්න ඒවා හැබෑකරගන්න අන් අයගෙන් බලාපොරොත්තු නොවී ඉන්න ශක්තියක් එක්ක. වගේම encanto එකේ මිරාබෙල් මැඩ්‍රිගාල්ට වගේ ප්‍රතික්ෂේපවීම් එක්ක උනත් තමන් ආදරය කරන මිනිස්සුන්ට සමාව දෙන්න ඉගෙන ගැනීමත් එක්ක.කිසිම මායාකාරී ආකර්ශනයක් අපිට නැතිඋනත් අපිට පුළුවන් ආදරය බෙදන්න , හිත් හදන්න ,සවන් දෙන්න , අනිත් කෙනාගෙ වේදනාව judge නොකර අහන් ඉන්න, එයාට කැමති දේ කරන්න සහය වෙන්න, ඉතින් අපිට පුළුවන් ආදරනීය මනුස්සයෙක් වෙන්න.
ඉතින් මේ හැමෝම වගේ විවිධ මට්ටම්වලින් අපිත් බිදුනු මිනිස්සු , විවිධ වේදනාවන් හැලහැප්පීම් එක්ක ඉරිතැලුනු මිනිස්සු.තමන් හරි රසවත් කෙනෙක් කියල අමතක වුනු ඉරිතැලුනු මිනිස්සු . හැබැයි පුංචිම පුංචි බ්‍ර්වුනි කෑල්ලක් වගේ ඇතුලාන්තයෙන් රසවත් මිනිස්සු .ඉතින් අපි තවකෙනෙක්ට රසම රස බ්‍ර්වුනි කෑල්ලක් වෙමු.අපි වෙනුවෙනුත් නාදුනන කෙනෙක් හරි බ්‍ර්වුනි කෑල්ලක් ගෙනේවි.එදාට නිවිහැනහිල්ලෙ රස විදිමු.
............අසවිගේ රසකතා...................
Brownies ❤️ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
ආදරෙන් අසවි
15/02/2024
වැලන්ටයින් දවස ඉවරයි, හැබැයි වැලන්ටයින් ඇතුලෙ වානිජකරනය වුනු ආදරේට තියෙන්නෙ රතුපාට සුදු පාට ආදර කතාවක්.
ඒත් තරුණ ජීවතේ භාගයක් ගෙවපු මට හිතෙන්නෙ, ආදරේට රතු පාට සුදුපාට විතරක් මදි, ආදරේ පිරිල ඉතිරිල යන්න නම් නිසල ජීවන ගමනෙ තියෙන පාට කොල පාට, දුක හිතුනම එන අදුරු ගුරු පාට, නිදහස් වෙලාවට දැනෙන සීතල නිල් පාට, ආදරේ උත්කර්ශය උපරිමේට දැනෙනකොට එන දම් පාට, ගෝරනාඩු අස්සෙ හෙණ පිපිරෙද්දි එන කලු පාට වගේම හිත ශාන්ත වෙන වෙලාවට එන කහ පාට සුදු පාටත් තියෙන්න ඕනෙ කියල. එහෙම හිත හිත සමාජ මාධ්‍ය බිත්තියෙ උඩ පල්ලෙහා යන ගමන් මං ඔන්න ආයෙම මගෙ ෆැන්ටසියෙ හිර වෙලා, මගෙ ආදරේ පිරුන රතු පාට කේක් කෑල්ලත් එක්ක.
"අපි ගොඩනැගුනෙ මලගිය ඇත්තො එක්ක, දෙවොන්දරා සං , නොරිකො සං එක්ක. නොදැනෙන්න නොපෙනෙන්න හුවමාරු උන ආදරේ එක්ක .දැනුනා හෝ නොදැනුනා හිත දිගින් දිගටම වේදනා දෙද්දි අනිත් මනුස්සයට ආදරේ කරන්න ඉගෙන ගැනීමත් එක්ක.
ගුරු ගීතයෙ දුයිශෙන් අල්තිනායිගෙන් අදටත් ඉගෙන ගන්නෙ හිමිනොකරගෙන ආදරේ කරන එක.කැපකිරීම් ඇතුලෙ ආදරේ උතුරන්න තියෙනවා කියන හැගීමත් එක්ක.ඒ ආදර කතාව පුදුමාකාරයි.වයස අවුරුදු දහයෙදි කියවද්දි නොදැනුනු ආදරේ අවුරුදු විසිපහේදි කියවද්දි දැනෙනව.ඉතින් මං විශ්වාස කරනව තව අවුරුදු දහයකින් හමුවුනත් දුයිශෙන් අල්තිනායි ආදරය තවත් අලුත් විදියකට මුනගැහේවි කියල.
පුංචිම කාලෙ රූපවාහිනියෙ දෙසැම්බර් 31 රෑ බලන් ඉන්නෙ රිදී රැයක් බලන්න , ඒකෙ තිරේ අරින්නෙ එක ප්‍රසිද්ධ තේමා සංගීතයකින්, අදටත් ඒ සිතාර් සද්දෙ මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙනව වගේ.ඒ සංගීතෙ දිගේ ගිහින් මං හොයාගත්තා හරි ලස්සන ආදර කතාවක් තක්ශිලාව ඇතුලෙ ගොඩනැගුන.ඒ චිත්‍රපටිය ඒ සංගීතය හදද්දි මං , එහෙම නැත්තන් අපෙ ජෙනරේශන් එකේ කිසි කෙනෙක් ඉපදිලාවත් නෑ හැබැයි ඒ වශීකෘත සංගීතය පස්සෙන ගිය මට ආදර කතාවක් හම්බුනා, ආදරේ ඇතුලෙ පරිත්‍යාගය පමනක්ම තිබිය යුතු බවත් ,වෛරයක් අප්‍රසාදයක් නොතිබිය යුතු බවත්, අවසන ප්‍රේමය නම් ප්‍රකාශයට පත් විය යුතු බවත් ඉගැන්වූවා.
"විශ්වාස කරන්න දම්මි, මම තානායමට ගියේ බොන්න නෙවෙයි. ඔයා දන්නව තානායමට ගියාම තක්ෂිලාව හොඳට පේනව"
"තානායමට යන්න ඕනැ නෑ සුගත්, තක්ෂිලාව මට මෙතැනට පේනව"
"දම්මි තක්ෂිලාව තවමත් එහෙම ම යි, කිසි වෙනසක් නෑ"
"අපිටත් පුළුවන් වුනානම් තක්ෂිලාව වගෙ වෙනස් නොවී ඉන්න....."
"ඇයි දම්මි, අපි තක්ෂිලාවට ගියේ...? ඇයි.. අපි එහෙදි මුණගැහුණෙ?"
"ඔයා මොනවද සුගත් මට කරන්න කියන්නෙ?"
"හිනා වෙන්න! දම්මි අර තක්ෂිලාවෙදි වගෙ තව එක සැරයක් හිනාවෙන්න-මට අන්තිමට බලල යන්න"
ඕ දෑතින් මුහුණ වසාගෙන ඉකි බිඳින්නට පටන්ගත්තාය. " (ගොළු හදවත )
ඉතින් ආදරේ රතු පාට සුදු පාට විතරක් ම වෙන්න ඕනෙද.?වෙන පාටක් ඇතුලෙ ආදරේ ඇත්තෙම නැද්ද ?
ඉතින් ටික කාලෙකට මෙහෙ ආපු අපි, ඉන්න කාලෙ ආදරෙන් පිරිල ඉතිරිල ඉමු.
මගෙ කේක් කෑල්ල ඉවරයි!තව කේක් කෑල්ලක් අරන් එන්නම්.
.......අසවිගේ රසකතා.......
Red velvet cake ❤️ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
මේ මං හදන කේක් .ඔයාලටත් රස බලන්න ආස හිතෙනව නම් Pastries by Asawi page එක පැත්තෙ එන්න.
ආදරෙන් අසවි.
01/02/2024
චොක්ලට් කියද්දි මට මතක් වෙන්නෙම හදවත හූරල මං උඹට ඉන්නව බං කියන යාලුකම්. චූට්ටන් කාලෙ අපිට හම්බුනු පොත් ගුල්ලියක් වගේ පොත් කියවපු මැටිල්ඩා ඉස්කෝලේ ගිහින් මිස් ට්‍රන්ච්බුල් ගොඩම ගොඩක් රස චොක්ලට් කේක් එකක් බෲස්ට බලෙන් කවද්දි ඒකට විරුද්ධ උන පුංචි කෙල්ල මැටිල්ඩා අපිට කියල දුන්නා අපි කොච්චර ශරීරයෙන් ,වයසින් පොඩි උනත් අත්දැකීම් මදි උනත් , අපි හරි දේයි කරන්න ඕනෙ කියල .අපිට ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් හිටගන්න ඕනෙ කියල.
ඒ වගේම සුරගන කතා කරලියෙ හිම කුමරි කතාවෙ ලස්සනම ලස්සන යාලුකම ගර්ඩා , කායිල් ආච්චි අම්මා පාඩම් වැඩ වලින් පස්සෙ කපල දෙන තද දුඹුරු පාට රසම රස චොක්ලට් කේක් කන විදිය බල බල කෙල ගිලපු සුන්දර පුංචි කාලෙ ගතවෙලා හැබැයි ඒ කතාවලින් කියල දීපු පාඩම වැඩිහිටි වුනාම තමා තේරෙන්නෙ.ඒ ලස්සන යාලුකම අපිට කියල දෙනවා, මොන අමාරු අවස්තාවක් උනත්,මොන ගිරිදුර්ග තරණය කරන්න වෙනවා උනත්, අපිට නිතැතින්ම ඒ බාදකය ජයගන්න ශක්තිමත් කමක් ලැබෙන්නෙ උඩට ඇදල ගන්න පුලුවන් හොද යාලුකමක් ඇතුලෙ විතරයි කියල.
තවත් චොක්ලට් කතාවක් කියනව නං අපි පුංචි කාලෙ වගේම අදටත් නැවත නැවතත් බලන කතාවක් නං, ඒ එකයි තියෙන්නෙ .ඒ එක කතාව හැරී පොටර්.හැරී පොටර් කතා මාලාවෙ Prisnor of Azkaban චිත්‍රපටිය වගේම පොත ඇතුලෙත් මහාචාර්ය ලූපින් හැරීට ඩිමෙන්ටර් ප්‍රහාරයක් කෝච්චිය ඇතුලෙදි උනාට පස්සෙ රසම රස චොක්ලට් කෑල්ලක් දීලා කියන්නෙ මේකෙන් ඔයාට හොදක් දැනේවි කියල, හැබැයි ඇත්තටම ඒක කියන්නෙ හ(ර්)මයිනියි රොනුයි දිහා බලල.ඒක ඇත්ත ඇත්තටම චොක්ලට් අපි ගිලිල ඉන්න වේදනාවෙන් ගලවනව.අපි ඉන්න පීඩනයෙන් එලියට එන්න උදව් කරනව.ඉතින් චොක්ලට් වගේ යාලුකම් කියන්නෙත් ඒ වගේ. ඉතින් එකම එක චොක්ලට් වගේ ඝනකම් හැබැයි වෙඩරු පිඩ වගේ දියවෙන යාලුකමක් ජීවතේට ආශිර්වාදයක් .ඉතින් එනවද යාලු මාත් එක්ක චොක්ලට් සාගරේක ගිලෙන්නෙ.ගිලි ගිලී නැගිටින්න.ඉතින් මේ රස සාගරයම මගේ හොදම යාලුවට❤
..............අසවිගේ රස කතා................
Chocolate sacher cake❤️ ゚ ゚viral ゚ ゚ ゚viral
උපුටා ගැනීමක් සිදු කරනවා නම් කරුනාකර කතෲ අයිතිය සුරකින්න.
මේ මං හදන කේක් .ඔයාලටත් රස බලන්න ආස හිතෙනව නම් Pastries by Asawi page එක පැත්තෙ එන්න .
ආදරෙන් අසවි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale Town