Matara Bodhiya
මාතර බෝධිය සහ මාතර බෝධි ආරක්ෂක සභාව
01/04/2026
බක් පුරපසලොස්වක පොහොය දිනය අදයි..
🏵️ බක් පොහොය දිනයේ වැදගත්කම...
සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් හෙබි මෙම බක් මාසය සියලු දෙනාටම සොම්නස් සුවය ගෙන දෙන ඉතාමත් සුන්දර මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක්ම විසිතුරු මලින් හා මනහර පලයන්ගෙන් පිරී ඉතිරී ගිය, නොයෙක් සියොත් කැලගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මඳින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් ද, මනහර පියකරු පියුමෙන් ද ගැවසීගත් විල් පෙළින් සමූපේත වූ, බක් මාසය සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.
ලක්වැසි බෞද්ධ ජනතාවට අමා සිසිල ලබා දෙන කුලුණුබර බුදුපියාණන් වහන්සේගේ මහා ගුණ කඳ සිහිපත් වන අසිරිමත් මාසයකි. ශ්‍රී ලංකා ධරණී තලය දෙවන වරටත් ශ්‍රී පාද පද්ම ස්පර්ශයෙන් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම්ගොත් දම්රදාණන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා මිහිරෙන් නොයෙක් දෙනා නිවී සැනසී ගියේත් බක් මාසයේ ය.
හෙළදිව සිංහල වංශය ඇරඹෙන්නට පෙර මෙහි විසූ විශේෂ ජන කොටසක් වූ නාග ගෝත්‍රිකයන් නැවියන් ලෙස හඳුන්වා ගත් ජන කොටසකි. ප්‍රධාන වශයෙන් වෙළඳාම ජීවන වෘත්තිය කර ගෙන රුවල් නැව් මඟින් දේශ දේශාන්තරවලද වෙළඳාම් කර ගෙන ගිය පිරිසක් විය. නාග වන්දනාවේ ද යෙදුණ මෙම පිරිස එදා සිරිලක උතුරු පෙදෙස නාග දිවයින නොහොත් නාගදීපය මුල්කර ගෙන විසූහ. මොවුන්ගේ ජන ප්‍රධානීන් වූ චූලෝදර මහෝදර නම් නා රජුන් දෙදෙනා එකම පරපුරේ නෑයන් විය.
මහෝදර නා රජුගේ සොහොයුරියගේ පුතා වූයේ චූලෝදර ය. ඒ අනුව ඔහු මහෝදරට ඥාතිකමින් බෑණා විය. ඔහුගේ පියාවූයේ කන්වඩමන් පර්වතයේ විසූ නා රජු ය. සිය සහෝදරිය එම රජුට සරණපාවා දුන් සිය පියාණන් තමාට අයත් ව තිබූ මැණික් ඇල්ලූ වටිනා පුටුව ද දායාද වශයෙන් සිය දියණිය ට දුන්හ. පසුව මෙම පුටුවේ හිමිකාරයා වූයේ චූලෝදර ය. නමුත් තම පියාට අයත් වූ මෙම වටිනා ආසනය සිය බෑණනුවන් හට අයත්වීම නොඉවසූ මහෝදර වටින් විට මෙම පුටුවට තිබෙන අයිතිය සිය බෑණනුවන්ට පවසා තමාගේ උරුමය අනුව මෙය ආපසු ලබා ගන්නට කොපමණ වෑයම් කළත් චූලෝදර එය නොදුන් නිසා අවසානයේ දෙපිරිස අතර අරගලයක් සිදුකර තම අයිතිය දිනාගන්නට දෙදෙනා යුද්ධයට පිවිසියේ මෙම අසිරිමත් බක් මාසයේය.
බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මිණි පලඟක් පිළිබඳ ව ඇති වූ එම සටන අසන්නට ලැබිණ. උදේ සවස විසි හතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ පිණිස නෙත් හෙළූ භාග්‍යවතුන් වහන්සේ සිදු වන්නට යන මහා විපත, මහා සංග්‍රාමය වැළැක්වීම සඳහා දෙවන වරටත් ලංකාවට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය පිළිබඳ පුවත මහාවංශයේ සඳහන්ව ඇත්තේ මෙසේ ය.
මහාකාරුණිකො සත්ථා
සබ්බලෝකහිතෙ රතො
බෝධිතො පඤචමෙ වස්සේ
වසං ජේතවනේ ජිනො
මහොදරස්ස නාගස්ස
තථා වුලොදරස්ස ව
මාතුල භාගිනෙය්‍යානං
මණිපල්ලංක හේතු කං
දිස්වා සපාරිසජ්ජානං
සංගාමයං පච්චුපට්ඨිතං
සම්බුද්ධො චිත්තමාසස්ස
කාල්‍යපක්ඛේ උපොසථෙ
පාතොයෙච සමාදාය
පවරං පත්ත විවරං
අනුකම්පාය නාගානං
නාගදීප මුපාගම්
එළඹ හිටියා වූ යුද්ධය දැක බුදුරජාණන් වහන්සේ බක් මාසය අමාවක පොහෝ දින උදය කාලයෙහි ම පා සිවුරු ගෙන නාගයන්ට අනුකම්පා පිණිස ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක.
මහා වංශයේ සඳහන් වන ආකාරයට අනුව මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටියේ ය. ඔහුගේ සහෝදරී කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චූලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත් මුහුදු වැසි නාගයන් මෙන් මහා බලසම්පන්නයෝ වූහ. චූලෝදර ගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චූලෝදරගේ මව වන දියණියන්හට දුන්නේ ය. මාමා සහ බෑනා එනම්, චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පලඟය. බුදුරජාණන් වහන්සේගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙවිරද තමාගේ භවනය වූ කිරිපලු රුක උදුරා තථාගතයන් වහන්සේට ඡත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය. සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂ්‍යයකු ව ඉපිද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේ දැක උන්වහන්සේට පාත්‍ර පිරිසුදු කරන්නට කොළ කඩාදුණි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙර කිරිපලු රුකෙහි දෙවියකු ව උපන් බව වංශ කතාවල සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එම යුද බිමට වැද සිටි දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගණ අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළී සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස්වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරිපා කමල් වැන්දාහ.
ලෝක නාථයන් වහන්සේ චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමඟි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සතර ආදීනව, මක්ඛ පලාසාදීන්ගේ ආදීන, කාකොලුක ජාතකය, ලටුතික ජාතකය, වට්ටක ජාතකය ද දේශනා කළ බව සමන්තකූට වර්ණනාවෙහි 575 ගාථාවෙහි සිට 582 තෙක් වන ගාථාවන්ගෙන් ප්‍රකාශ කොට තිබේ.
මේවායින් වෛර කිරීමෙහි ඇති පරිහානියත් සමඟිව සිටීමේ ඇති අභිවෘද්ධියත් විග්‍රහ කරමින් බුදුරජාණන් වහන්සේ අවවාද දුන්හ. යුද වැදී සිටි නා රජුන් දෙදෙනා ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයන්හි අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පලඟ තථාගතයන් වහන්සේට පිදූහ. අහසින් බැස මිණිපලඟෙහි වැඩ හුන් සම්බුදු බුදුපියාණන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිවා දානය වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණිපලඟ නාගයන්ට පවරාදී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කළහ.
එහිදී මහෝදර නා රජුගේ මයිලණුවන් වූ මණිඅක්ඛිත නාග රාජයා ස්වකීය රාජධානිය වූ කැලණියට ද වැඩම කරවන ලෙස බුදුරජාණන් වහන්සේට ඇරැයුම් කළ බව වංශ කතාවල සඳහන් වේ. එම ඇරියුම පිළිගත් අප ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේ දී සුමන සමන් දිව්‍ය රාජයාගේ ඉල්ලීම පරිදි සමනොල කන්දෙහි සිරිපා සටහන තැබූ බව මහා වංශය විස්තර කරයි.
ඒ අනුව පැහැදිලි වනුයේ බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය නිසා තෙවැනි වරටත් උන්වහන්සේ් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවා ගැනීමට අවස්ථාව උදා වූ බවයි. බුදුරජාණන් වහන්සේ සමගියේ අවුරුදු තෑග්ග බක් පුර පසළොස්වක පොහෝදා හෙළයනට ලබා දී ඇති බව තවදුරටත් සඳහන් කළ හැකි ය.
සතර පෙරනිමිති දැකීම් වශයෙන් සිදුහත් මහ බෝසතාණන් වහන්සේ උයන් ක්‍රීඩාව සඳහා ගමන් කරද්දී පළමු කොට ජරා(මහලු) රූපය දැක ඇත්තේ බක් මහ පුනු පොහොය දිනක ය. එතැන් සිට ව්‍යාධි රූපය වෙසක් පුන් පොහොය දිනයේත්, මරණ රූපය පොසොන් පුන් පොහොය දිනයේත් මහණ රූපය ඇසළ පුන් පොහොය දිනයේත් දැක ඇත. මහණ රූපය දුටු දා සසරින් එතෙරවීමට ගමන් ආරම්භ කරන්නට තීරණය කරගෙන ඇසළ පුන් පොහෝදා අභිනිෂ්ක්‍රමණය කළ බව බුද්ධ චරිතයෙහි දැක්වේ.
02/03/2026
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
ධම්ම පදය 1.
මනෝපුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමංවේති - චක්කංව වහතෝ පදං
ජීවිතයේ හැම දේකටම සිතයි මුල්වෙන්නේ. සිතම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ. සිතින්මයි හටගන්නේ. යම් හෙයකින් සිත නරක් කරගෙන යමක් කිව්වොත්
හරි, යමක් කෙරුවොත් හරි, ඒකෙන් ලැඛෙන දුක් විපාක ඔහුගේ පස්සෙන් ලූහුබඳිනවා. කරත්තේ බැඳලා ඉන්න ගොනාගෙ පස්සෙන් එන රෝදයක් වගෙයි.
(ජේතවන අසපුවේදී චක්ඛුපාල තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
10/02/2026
ආබාධ සහිත දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මාතර බෝධි ආරක්ෂක සභාවෙන් “බෝපත් සෙවණ” කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක්
=====================================
ආබාධ සහිත දරුවන්ගේ කුසලතා ඔප්නැංවීම සහ ඔවුන් සමාජගත කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරි කරගනිමින්, මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ස්ථාපිත කරන ලද “බෝපත් සෙවණ” කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය 2026 පෙබරවාරි 09 වන දින මාතරදී නිල වශයෙන් විවෘත විය. මෙම මධ්‍යස්ථානය විවෘත කිරීම මාතර දිස්ත්‍රික් ලේකම්/දිසාපති චන්දන තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය දොඩම්පහල අමරසිරි ස්වාමින් වහන්සේ සහ මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු අනුශාසක, මාතර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති, කොටුව මිගදාය ධර්මායතනාධිපති, අනුර විද්‍යාලයේ කළමනාකාර අධ්‍යක්ෂ, හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, විද්‍යා කීර්ති ශ්‍රී ශාසන ශෝභන අතිගෞරවණීය තිස්සමහාරාමයේ ඉන්දානන්ද මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සව සභාව ආරම්භ විය.
මෙහිදී අදහස් දැක්වූ මාතර බෝධි ආරක්ෂක සභාවේ ගරු සභාපති තිලක් ජයසේකර මහතා සඳහන් කළේ, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ශක්තියක් වෙමින් ඔවුන් දිරිගැන්වීම සඳහා මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවයි.
මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා සිය අදහස් දැක්වීමේදී, මීට පෙර අක්ෂි දුර්වලතා සහිත දරුවන් සියයකට අධික පිරිසකගේ අවශ්‍යතා සපුරා දීමට මාතර බෝධි ආරක්ෂක සභාව දැක්වූ සුවිශේෂී දායකත්වය ගෞරවයෙන් සිහිපත් කළේය.
දකුණු පළාත් ඔටිසම් සහ ස්නායු සංවර්ධන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය සමිත ද සිල්වා මහතා මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කළේය:
“අපි කිසිදු දරුවෙකු අතහැර නොදැමිය යුතුයි. ලෝක ජනගහනයෙන් 15%ක් යම් ආකාරයක ආබාධිත තත්ත්වයක පසුවනවා. ආබාධයක් යනු සුවකළ යුතු රෝගයක් නොව අප ගරු කළ යුතු වෙනස්කමක් පමණයි. මෙම දරුවන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව, ඔවුන් අනෙකුත් දරුවන් සමඟ සමාජගත වීමට අවශ්‍ය දිරිගැන්වීමයි.”
බෝධි ආරක්ෂක සභාවේ ගරු ලේකම් රොහාන්ත සමරසිංහ මහතා ස්තූති කතාව සිදු කරමින් ප්‍රකාශ කළේ, මෙම මධ්‍යස්ථානය නුදුරු කාලයේදීම දකුණු පළාතේ ඇති විශිෂ්ටතම කුසලතා සංවර්ධන මධ්‍යස්ථානය බවට පත් කරන බවයි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්. වී. පී. අනුර මහතා, වෛද්‍ය සමන්ති දිසානායක මහත්මිය, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපන) ජී. එස්. ඩබ්. දමිත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහ විශාල දෙමාපියන්, දරුවන් පිරිසක් සහභාගී වූහ. වැඩසටහන මෙහෙයවනු ලැබුවේ මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රධාන පරිපාලන නිලධාරී ජනිත තිලනාත් මහතා විසිනි.
Matara Bodhiya
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Dharmapala Mawatha
Matara
81000