Untoled Tales
Untold tales, whispered from the heart to yours 💌
09/02/2025
-නොකියු කතාව-
ඕක මගේ කතාව, ඕක මම ලියපු කතාව, අකුරක් ගානේ ගලපලා රැයවල් නිදිමරාන ලියපු මගේ කතාව.
එහෙම හයියෙන් කෑ ගහල කියන්න ඕන උනත් කාටවත්ම මාව ඇහෙන එකක් නෑ කියල හිතුනා.. ඔව් එතන එකම කාලගෝට්ටියක් කතෘ ගෙන් අලුත් පොතට අත්සන් ගන්න සෙල්ෆි ගන්න එකම පොරකෑමක්, මම කොනකට තල්ලු උනා, මේ පොරකෑමට එකතු වෙන්න දගලන මිනිස්සුන්ට මාව වදයක් නොවෙන්න මං පැත්තකට උනා..
හැමදාමත් වගේ.. මම නිශ්ශබ්ද උනා..
ගිනිගහන මද්දහනේ එලියට ආවත් මට පොඩි වත් අව්වක් දැනුනේ නැත්තේ හිත ඇතුලෙ ගින්නක් තිබ්බ නිසා වෙන්නැති, ඒක කියාගන්න බැරි වේදනාවක්, මාව තනිවෙලා මට කවුරුත් නෑ නේද හිතෙනවා.. මම හරිම අහිංසක නිහඬ චරිතයක් බව මාව ආශ්‍රේ කරපු හැමෝම දන්නවා ඒත් මගෙ අත නිහඬ උනේ නෑ කවදාවත්, අහුවෙන හැම කොලයක්ම හැම පොත් අග්ගිස්සකම මගේ නිහඬකම අකුරු වලින් පිරුනා.. ඒ හැම පිටුවක්ම මගේ පොත් කබඩ් එකේ පොත් අස්සේ රැදුනා, මගේ සිතුවිලි අකුරු උන ඒ කතාන්දර තපෝදාට පෙනුනේ කොහොමද මන්දා..
වෙනදා වගේම නිහඬ නොවුන මගේ සිතුවිලි කතන්දර වෙලා පිටු අස්සේ පිරුනා, පුරුදු විදියටම ඒව මගේ පොත් කබඩ් එකේ පොත් අස්සේ රැදුනා.. තුන්වෙනි වතාවටත් තපෝදා අති සාර්තක කෙටි නවකතාවක් පොතක් විදියට එලියට දැන්මා, පලවෙනි පොතෙන්ම නැගී එන සාර්තක කතෘ කෙනෙක් උන තපෝදාට පාඨක පිරිසකුත් හැදිල හිටියා.. මේ මගේ හීනය නේද තපෝදාට හැබෑ වෙලා තියෙන්නෙ මගෙ හිත මාව කොනිත්තනවා.
සෞන්දර්ය විශ්ව විද්‍යාලේ අවසන් වසරේ දක්ශ බුද්ධිමත් ශිෂ්‍යාවක්, කතුවරියක්, නර්තනයට උපන් හපන්කම් කියන රූමත් බවෙන් ඉහලින්ම ඉන්න ඈට මේ තරම් පාඨක ප්‍රෙක්ෂක පිරිසක් හැදෙන එක අහන්නත් දෙයක්ද , ඔව් ඈ ඇත්තටම පිරිමි වශී වෙන රූපයක් ඇති තරුණියක්,
කා එක්කත් එක සමානව නිහඬව යාලුමිත්‍රකම් ඇති මට තපෝදාගේ හොදම යාලුවා උන කේතකි එක්ක එක බෝඩිං කාමරේ බෙදාගන්න එක අමාරු උනේ නෑ..
හොදම යාලුවෝ මුනගැහිල කාමරේ ඇතුලේ විහිලු තහලු ඕපදූප කියවද්දී මං කලේ එයාලට කාමරේ නිදහස දීලා පොත් ටිකකුත් අරන් පුස්තකාලෙට ගිය එක..
මගේ කතාවෙයි තපෝදාගේ නවකතා වලයි වෙනසක් තිබුනේ නම් ගම් තැන් වල විතරයි..
ඒත් ඒවා මගේය කියන්න මට ඉතුරුව තිබුන දෙයක් නෑ, කවුරු උනත් මාව පිලිගන්න එකකුත් නෑ..
ඒත් මගේ සිතුවිලි අකුරු වීම නැවතුනෙත් නෑ.. ඊලඟ කතාවත් මං පටන් ගත්තා..
තපොදා ඈට මුහුණු පොතේ හදාගත් පිටුවේ දවස් දෙකකට සැරයක් මගේ කතාව ඇගේ නමින් දැම්මා.
දහස් ගනන් ප්‍රතිචාර ලැබෙද්දී තපෝදා හිටියේ බොහොම සතුටින් ඇගේ සතුට බෙදාගන්න හොදම යාලුවන් දෙන්නාගේ මුණගැහීම් වල කෙලවරක් නොතිබුන තරම්..
ඒ හැම අවස්තාවකම මාත් කාමරෙ හිටියොත් මා එක්කත් සුහදව හිනා වෙන්න තපෝදාට අමතක උනේ නෑ.. ඒ වෙලාවට එයා කිසි චකිතයක් නැතුව මට මුහුණ දෙන්න කොහොම පුළුවන් උනාද කියල හිතුන වාර නම් අනන්තයි..
මුහුණු පොතේ ප්‍රතිචාර එන්න එන්නම වැඩි වෙද්දී මගේ සිතුවිලි නිහඬ කරන් බලා හිටියේ ඊලඟට මොකද වෙන්නෙ කියලා. වෙනදා වගේ පොත් පිටුවල අකුරු පිරුන්නෑ ඒ පිටු කබඩ් එකෙ පොත් අස්සේ රැදුනෙත් නෑ.. මං හිටියේ සෙවිල්ලෙන් උනත් නොතේරෙන මේ ලෝකේ අතරමංවෙලා වගෙයි.
ඒත් තපෝදාගේ කතාව ගලාගෙන ගියා, සාර්තක නිමාවක් එක්ක, තව තව පාඨකයෝ වැඩි වෙද්දි ඇගේ මුහුණු පොතම සුබපැතුම් වලින් පිරුනා.. මේ හැම විස්තරයක්ම කේතකි එක්ක කතා වෙන නිසා ඒවා මට රහසක් උනේ නෑ..
එහෙම වෙන්නේ කොහොමද .. එතකොට ඒ මගේ කතා නෙවෙයිද , තපෝදාම ගොතපු කතාද.. මට වැරදිලා නම් එයත් එක්ක මං කේන්ති ගත්තා නරකයි නේද, දෙන්නෙකුට එක වගේම කතා සිතුවිලි පහල වෙන්න පුළුවන් ද .. පැටලිලි කෙලවරක් නෑ
කේතකි තපෝදා හමුවීම් කතාබහ විහිලු තහලු හැමදාම වගේ තිබුනා. ගොඩක් වෙලාවට එයාල නිදහසේම කතා කරන්නේ මේ කාමරේදී කියලයි මට තේරුනේ.. පොත් ගැන, පාඩම් ගැන වගේම පෙම්වතුන් ගැනත් ඒ රසකතා ගලාන යනවා, උඹ තමයි මගේ ලියන ජිවිතේට හොදම හමුවීම කේතකි, තපෝදා කියනවා මට ඇහුනා,
මින් පස්සේ එයාල හමුවෙන වෙලාවට පුස්තකාලයට නොගිහින් කාමරයේම නැවතිලා ඉන්න මං තීරණය කලා.. හැබැයි ඒ දෙන්නාගේ කතා අස්සේ මං කියල කෙනෙක් ඉන්නවද වත් දැනුනේ නෑ වගේ..
දවසක් ඔහොම කතා අතර කේතකිට කෝල් එකක් ඇවිත් එලියට ගියේ සිග්නල් මදි වගේ කියාගෙනයි..
එච්චර වෙලා ගණන් නොගත්ත මාව එවෙලෙ දැක්ක ගානට හිනාවකින් තපෝදා මං ලගට ආවා..
ඔයා තමරහසි නෙහ්, අත්සනින් මං දැනගත්තේ.. ඔයාගේ නම හරි ලස්සනයි .. තපෝදා ගේ ඇස් දිලිසෙනවා මට පේනවා ඒ ඇස් වල කුතුහලය නොඅඩුව පිරිල තියනවා..
ලියන්න.. ඔයා ගේ කතා ඒවා ලස්සනයි , ඒ ඇත්තම කතාද ?
පුදුමයෙන් බලා ඉන්න මගෙන් ඈ අහන්නෙ මම මෙච්චර කල් ලියපු කතා ගැන නේද.. ඒ කියන්නේ ඒ ඔක්කොම එයා අරන් බව පැහැදිලියි..
ඒවා පේන්නේ මට විතරයි මං දන්නවා තමරහසි.. මම ඒ හැම කතාවකටම සාධාරණයක් කරනවා..
දිගටම ලියන්න..
ඔයාගේ ආත්මයට ශාන්තියක් ලැබේවි..
තට්ටු හතරක් උඩින් තියන කාමරේ ජනේලෙන් සුදුමැලි උන කෙට්ටු තරුණියක් පොතක් තුරුලු කරන් එලියට පනිනවා මට මැවිලා පෙනෙනවා.. මට හරි සැහැල්ලුවක් දැනෙනවා, ඔව් ඒ මගේ ඊලග කතාව , මං ආයේම ලියනවා.. තපෝදා මා එක්ක සුහදව හිනාවුනා..
අපි හොද යාලුවෝ වෙමු ඈ මට කියනව..
.මෙය මනඃකල්පිත කතාවකි..
-මතුසම්බන්ධයි-
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nowhere, OK